ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි විහාරස්ථානයකදී ගැහැණු ළමුන් හය දෙනෙකුට කළ ලිංගික අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වරදකරු වී තිබේ.
කීස්බරෝ හි ධම්ම සරණ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව වන නාඔටුන්නේ විජිත භික්ෂුව1994 සහ 2002 අතර කාලය තුළ මෙම වැරදි සිදු කළ බවට ප්‍රාන්ත අධිකරණ ජූරි සභාව ඊයේ තීන්දු කළේය.
වයස අවුරුදු 16ට අඩු දැරියක සමග ලිංගිකව හැසිරීමේ චෝදනා අටක් සහ වයස අවුරුදු 16ට අඩු දැරියක සමඟ අශෝභන ක්‍රියාවක් සිදු කිරීමේ චෝදනා නවයක් සම්බන්ධයෙන් 70 හැවිරිදි මෙම භික්ෂුව වැරදිකරු විය.
එක් අශෝභන ක්‍රියාවක් සම්බන්ධ චෝදනාවකින් භික්ෂුව නිදහස් කරන ලදී.
දැරියක සමඟ අශෝභන ක්‍රියාවක් සිදුකිරීමේ තවත් චෝදනාවක් සම්බන්ධයෙන් ජූරි සභාව තවදුරටත් සාකච්ඡා කරමින් සිටී.
මෙම වරද සම්බන්ධයෙන් වසර 10කට වැඩි කාලයක් සඳහා සිරදඬුවම් නියම කළ හැකි බව ඕස්ට්‍රේලියානු පුවත් සේවා වාර්තා කරයි.
මෙම භික්ෂුව ඊයේ දහවල් තීන්දු ප්‍රකාශයට පත් කරන විට කිසිදු ප්‍රතිචාරයක් නොපෙන්වීය.
ජූරි සභාව කාමරයෙන් පිටව ගිය පසු භික්ෂුවට සහාය දැක්වීම සඳහා නඩු විභාගයේ සෑම දිනකම සහභාගී වූ පන්සලේ සාමාජිකයන් අධිකරණ ශාලාවේ හඬා වැටී තිබේ.
වික්ටෝරියානු නීතිය යටතේ, මෙම අපරාධ සම්බන්ධයෙන් භික්ෂුවට දශකයකට වැඩි කාලයක් සිර දඬුවම් නියම කළ හැකිය.
මේ වනවිට වයස අවුරුදු 30 ගණන්වල පසුවන කාන්තාවන් හය දෙනෙකු නඩු විභාගයේදී භික්ෂුවට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වී තිබිණි.
විජිත භික්ෂුව තම අධිකාරී තනතුර අනිසි ලෙස භාවිත කර තරුණ ගැහැණු ළමුන්ගෙන් ප්‍රයෝජන ගත් බවට නඩු පවරන්නන් චෝදනා කර තිබිණි.
සිද්ධියට මුහුණදුන් ඇතැම් කාන්තාවන් පැවසුවේ ඔහු නුසුදුසු ලෙස ඔවුන් ස්පර්ශ කළ බව හෝ ඔහුගේ ලිංගය මත අත තැබීමට සැලැස්වූ බවයි.
දැරියන් විහාරස්ථානයේ පැරණි ස්ප්‍රින්ග්වේල් පරිශ්‍රයට සහ වර්තමාන කීස්බරෝ අඩවියේ පිහිටි ඔහුගේ වාසස්ථානයට රැගෙන යෑමට රසකැවිලි භාවිත කර ඇති බවට ද චෝදනා එල්ල විය.
වින්දිතයන් කිහිප දෙනෙකු පොලිසියට ඉදිරිපත් වීමෙන් පසුව 2023 දී භික්ෂුවට චෝදනා එල්ල විය.
පෙර වසරවලදී, ඇතැම් වින්දිතයින් විජිත විසින් අපයෝජනයට ලක් කිරීම පිළිබඳ තොරතුරු මිතුරන්ට සහ පවුලේ සාමාජිකයන්ට හෙළි කළ බව අධිකරණයේදී අසන්නට ලැබිණි.
නඩු විභාගයේදී, විජිත භික්ෂුවගේ නීතිඥ නිකලස් පැපාස් තම සේවාදායකයා වරදකරුවකු නොවන බවට තීන්දු කරන්නැයි ජූරි සභාවෙන් ඉල්ලා සිටියේය.
විජිත භික්ෂුව චෝදනා ප්‍රතික්ෂේප කළ බවත්, සමහර අවස්ථාවලදී ලිංගික අතවර චෝදනා කළ ගැහැණු ළමුන් පවා මතක නැති බවත් පපාස් පැවසීය.
“ඔහුට සිදුවීම් මතක නැහැ, මොකද ඔහුගේ මනසට අනුව ඒවා සිදු නොවූ නිසා,” පපාස් පැවසීය.
පැමිණිලිකරුවන්ගේ සාක්ෂිවල නිරවද්‍යතාව සහ විජිත භික්ෂුවට චෝදනා කරන ලද ඇතැම් වැරදි කිරීමට භෞතිකව හැකියාවක් තිබේද යන්න විත්තියේ නීතිඥවරයා විමසීය.
අවසාන තීන්දුව ලබා දුන් පසු, භික්ෂුවට ලබා දිය යුතු දඬුවම පිළිබඳ නඩු පවරන්නන් සහ විත්තියේ නීතිඥයන් ප්‍රාන්ත අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ඇත.
නාඔටුන්නේ විජිත නායක යනු කවුද?
1994 වර්ෂයේ මුල් භාගයේදී, ඔස්ට්‍රේලියාවේ පිහිටි බෞද්ධ සංගමයේ ආරාධනයකට අනුව පුජ්‍ය නාඔටුන්නේ විජිත හිමි ස්වීඩනයේ සිට ඔස්ට්‍රේලියාව බලා වැඩම කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ප්‍රීන්වේල් හි පිහිටි විහාරස්ථානයට නාඔටුන්නේ විජිත නායක හිමියන් වැඩම කිරීමට පෙර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කර ඇත්තේ අපවත්වී වදාළ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ය.
නාඔටුන්නේ විජිත නාහිමියන් ඔස්ට්‍රේලියාවට වැඩම කිරීමට පෙර ස්වීඩ්න්, ස්ටෝක්හෝම්හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේ වසර 07ක කාලයක් විහාරාධිපති හිමියන් ලෙස වැඩ සිට ඇත.
බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය ගැන ඇතිවූ උනන්දුව මත වයස අවුරුදු 15දී තමන්වහන්සේ පැවිදි දිවියට එළඹුණු බව වරක් මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.
පැවිදි දිවියට එළඹීමෙන් අනතුරුව තමන්වහන්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වූ බවත්, විශ්වවිද්‍යාලයේ සිටි සමකාලීන මිතුරෙකු පසුව ස්වීඩනය බලා ගොස් සිටි නිසා ඔහුගේ ආරාධනයකට අනුව තමන්වහන්සේ එහි වැඩම කොට ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ වසර 07ක් ධර්මදූත සේවාවේ යෙදුණු බවත් උන්වහන්සේ එම සම්මුඛ සාකච්ජාවේදී වැඩිදුරටත් පැවසූහ.
පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක හිමියන්ට සිංහල, ඉංග්‍රීසි සහ ස්වීඩන් භාෂා චතුර ලෙස හැසිරවීමට හැකි ය.
බෞද්ධ ශාසනයට කරන ලද මෙහෙවර ඇගයීම උදෙසා ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකාය විසින් 2003 වසරේදී නාඔටුන්න විජිත හිමියන්ට ගෞරව නාමයක් පිරිනමා තිබිණි.
එමෙන් ම, 2011 වසරේදී රාමඤ්ඤ නිකායේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියට පුජ්‍ය නාඔටුන්න විජිත නායක හිමියන් පත් කරනු ලැබුවේ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන් විසිනි.