ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ඊයේ (09) දින මාධ්‍ය හමුවකට සහබාගි වෙමින් පැවසීය.
මෙම ඒකාබද්ධ කිරීම් හරහා ආයතන දෙකෙහිම ශක්තීන් එක් කර ගොවි ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේන අතර තනි තනිව ක්‍රියාත්මක වූ ආයතන දෙක, එකම ඉලක්කයක් සහ පොදු අධිෂ්ඨානයක් සහිතව කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
මේ හරහා වගා වපසරිය සහ නිෂ්පාදන දත්ත නිවැරදිව ලබා ගැනීම මඟින් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී පවතින ගැටලු මඟහරවා ගැනීමට සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම හරහා ගොවියාගේ ජීවන තත්ත්වය දියුණු කිරීම, පාරිභෝගිකයාට සහනයක් සැලසීම මෙන්ම ග්‍රාමීය මට්ටමින් සේවය කරන නිලධාරී මඩුල්ල සහ දෙපාර්තමේන්තු සතු සම්පත් ඒකාබද්ධ කරමින් වඩාත් ශක්තිමත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
“වෙන් වෙන්ව ක්‍රියා කිරීම වෙනුවට ආයතන දෙකේ ශක්තීන් එකතු කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තයට වඩාත් පුළුල් සේවයක් සැලසීම මෙම ව්‍යායාමයේ පරමාර්ථයයි.”