පසුගිය වසර තුනහමාරක කාලය තුළ බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල රජයන් වෙනස් කිරීමට හේතු වූ ජනතා නැගිටීම් ඇතිවීම පිටුපස තිබෙන මූලික හේතුව “දුර්වල පාලනය” බව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ජාතික එකමුතුකම දිනය නිමිත්තෙන් පසුගිය දා (31) පැවති උත්සවයකට සහබාගී වෙමින් දෝවාල් මහතා මේ බව කියා සිටියේය. එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ “ජාතිය ගොඩනැගීමේ දී සහ ජාතික-රාජ්‍යය ආරක්ෂා කිරීමේ දී රටක් තුළ පවතින පාලනය මූලික කාර්යභාරයක් ඉටු කරන බවයි.
“මහා අධිරාජ්‍යයන්, රාජාණ්ඩු, කුලීන පාලන, ප්‍රභූ පාලන හෝ ප්රජාතන්ත්රවාදී පාලනයන්හි නැගීම සහ වැටීම ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ පාලනයේ ඉතිහාසයයි. පසුගිය කාලය තුළ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ අනෙකුත් රටවල ව්‍යවස්ථානුකූල නොවන ක්‍රම මගින් පාලන වෙනස්කම් සිදු වූ සිද්ධීන් දුර්වල පාලනයේ අවස්ථා වේ,” දෝවාල් මහතා පැවසීය.
රටක පවතින පාලනය ජාතිය ගොඩනැගීමට සහ රාජ්‍ය ආරක්ෂා කිරීමට අතිශය වැදගත් බව අවධාරණය කරමින් දෝවාල් මහතා සඳහන් කළේ දිගුකාලීනව පැවතීමට හැකියාව ඇත්තේ ශක්තිමත් පාලන ක්‍රමවලට පමණක්ම බවයි.