සුළි කුණාටුවෙන් විපතට පත් පුරවැසියන්ට සහන සැලසීමට ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදලට මේ වන විට දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් මිලියන 3421 ඉක්මවන මුදල් ආධාර ප්‍රමාණයක් ලැබී ඇතැයි මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ Rebuilding Sri Lanka අරමුදල සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කරමිනි. එම විශේෂ ප්‍රකාශයේ වැඩිදුරටත් මෙලෙස ද සඳහන් වේ.
මුදල් හා චෙක්පත් තැන්පතු මෙන්ම භාණ්ඩාගාරය විසින් කළමනාකරණය කරන ලද ගිණුම්වලට විදේශ මුදල් දායකත්වයන් බැර කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව හරහා ක්‍රියාත්මක වන ගිණුම් සහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ නමින් පවත්වාගෙන යන විදේශීය ගිණුම් කිහිපයක් මෙයට ඇතුළත් වේ. මේ විධිවිධානයෙන් පරිත්‍යාගශීලීන්ට, සුබ පතන්නන්ට සහ විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ජාතිය නැවත ගොඩනැඟීමේ ප්රයත්නයට ඍජුවම සහාය වීමට ඉඩ සලසන බව ද හෙතෙම කීවේය.
මුල් අදියරේදී රුපියල් මිලියන 700ක් ලැබී තිබු අතර, දෙවැනි යාවත්කාලීන කිරීමේදී රුපියල් බිලියන 1.8ක් ලැබී තිබුණු බවත් කී ලේකම්වරයා ඊයේ (14) වන විට දේශීය හා ජාත්‍යන්තර දායකයන්ගේ ශක්තිමත් සහයෝගය පිළිබිඹු කරමින් රුපියල් බිලියන 3.4ක් ලැබී ඇතැයිද පැවසුවේය.
භාණ්ඩාගාර දත්ත වලට අනුව රටවල් 40කට වැඩි ගණනකින් පරිත්‍යාග ලැබී ඇති අතර, වැඩිම දායකත්වයන් උතුරු අමෙරිකාවෙන්ය. ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ දකුණු කොරියාවෙන් ද විශාල මුදලක් ලැබී ඇත. එක්සත් ජනපදය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල පවත්වාගෙන යන විදේශීය ගිණුම් හරහා දායක මුදල් අඛණ්ඩව යොමු කෙරෙන අතර, ගනුදෙනු අඛණ්ඩව සිදු වන බව ද ලේකම්වරයා කීවේය.
මෙරට ප්‍රධාන පෞද්ගලික අංශයේ ආයතන තුනක් රුපියල් මිලියන 100කට වඩා අරමුදලට පරිත්‍යාග කර ඇති බව ද ආචාර්ය සූරියප්පෙරුම මහතා අනාවරණය කළේය. ඊට අමතරව තවත් ආයතන හතරක් ව්‍යාපාර, සංවිධාන සහ පුද්ගලයන්ගෙන් ලැබුණු පරිත්‍යාග රාශියකට අමතරව රුපියල් මිලියන 20ත් 100ත් අතර මුදලක් පරිත්‍යාග කර ඇතැයි ද කීවේය.
නැවත ගොඩනැඟීමේ වැඩසටහනේ මුළු පිරිවැය තවමත් සම්පූර්ණයෙන් තීරණය කර නොමැති අතර, එය රුපියල් බිලියන දහස් ගණනක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තාක්ෂණික විශේෂඥයන්ගේ සහාය ඇතිව තක්සේරු කිරීම් සහ දත්ත රැස් කිරීම දැනට සිදු වෙමින් පවතින බව ද ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.