ජනපති අනුරගේ අයවැය පොරොන්දු 10ක් ඉටු වෙයි, 1ක් අසාර්ථකයි

Anura Meter

‘අනුර මීටරය’ (Anura Meter) වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට දුන් පොරොන්තු ලුහුබැඳීමේ පද්ධතියේ නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව, 2025 නොවැම්බර් මාසය වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවට ලබා දුන් සිය මැතිවරණ පොරොන්දු 30න් 10ක් සම්පූර්ණයෙන්ම ඉටු කර ඇත.

Verité Research ආයතනය මගින් මෙහෙයවනු ලබන Manthri.lk වෙබ් අඩවිය සිදු කළ මෙම ඇගයීමට 2026 අයවැය යෝජනා ද ඇතුළත් කර ඇත. එම දත්තයන්ට අනුව වර්තමාන ප්‍රගතිය මෙසේය.

  • ඉටුකළ පොරොන්දු: 10
  • සිදුවෙමින් පවතින: 10
  • ප්‍රගතියක් නොමැති: 09
  • අසාර්ථක වූ: 01

මෙම ලුහුබැඳීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ, දූෂණ මර්දනය, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂණය වැනි රටට වැදගත් ක්ෂේත්‍රයන්ට අදාළ පොරොන්දු තෝරාගෙන ඇත. මීට පෙර ක්‍රියාත්මක වූ ‘මෛත්‍රී මීටරය’ සහ ‘ගෝටා මීටරය’ මෙන්ම, මෙයද රජයේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන ස්වාධීන ව්‍යාපෘතියකි.

මෙම ලැයිස්තුවට ඇතුළත් කළ යුතු තවත් පොරොන්දු වෙතොත් ඒවා නම් කරන ලෙස Manthri.lk ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සම්පූර්ණ වාර්තාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් https://manthri.lk/en/anura-meter වෙබ් අඩවියෙන් නැරඹිය හැකිය.

‘අනුර මීටරය’ පිළිබඳ විශේෂ කරුණු

1. පොරොන්දු තෝරාගැනීම සහ විෂය පථය

  • මූලික විශ්ලේෂණය: 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වූ මුළු පොරොන්දු 1,325ක් Manthri.lk කණ්ඩායම විසින් විශ්ලේෂණය කරන ලදී.
  • නිරීක්ෂණය කළ හැකි පොරොන්දු: ඉන් පොරොන්දු 947ක් නිරීක්ෂණය කළ හැකි ක්‍රියාකාරකම් සහිත වූ අතර, ඉන් 378ක් සෘජුවම ‘අධීක්ෂණය කළ හැකි’ (monitorable) මට්ටමේ පවතින බව හඳුනා ගන්නා ලදී.
  • ප්‍රධාන ක්ෂේත්‍ර 5ක්: සම්පත් සීමිත බැවින්, මහජන උනන්දුව ඉහළ ක්ෂේත්‍ර පහක් යටතේ පොරොන්දු 171ක් තෝරා ගන්නා ලදී:
    • ආර්ථික ප්‍රතිසංස්කරණ
    • ආණ්ඩුකරණය
    • දූෂණ මර්දනය
    • නීතිය හා සාමය
    • සමාජ ආරක්ෂණය
  • වත්මන් තත්ත්වය: දැනට මෙම ට්‍රැකරය (Tracker) හරහා පොරොන්දු 30ක ප්‍රගතිය සක්‍රීයව නිරීක්ෂණය කෙරේ.

2. තොරතුරු ලබාගැනීමේ අභියෝග

  • තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI): මෙම පොරොන්දුවල ප්‍රගතිය මැනීමට අදාළ අමාත්‍යාංශ වෙත RTI ඉල්ලීම් 41ක් යොමු කළද, ප්‍රතිචාර ලැබුණේ ඉන් 23කට පමණි.
  • භාවිතා කළ හැකි දත්ත: එම ප්‍රතිචාර අතරින්ද භාවිතයට ගත හැකි මට්ටමේ තොරතුරු ලැබුණේ RTI 15කින් පමණි. රජයෙන් ලැබෙන ප්‍රතිචාර අවම වීම නිසා ප්‍රධාන පොරොන්දු කිහිපයක් පමණක් නිරීක්ෂණය කිරීමට කණ්ඩායම තීරණය කර ඇත.

3. මහජන සහභාගීත්වය සහ නව පොරොන්දු එක් කිරීම

නව පොරොන්දුවක් මෙම පද්ධතියට ඇතුළත් කර ගැනීමට නම් පහත ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය:

  • Change.org පෙත්සම: අදාළ ක්ෂේත්‍ර පහ යටතේ නව පොරොන්දුවක් එක් කිරීමට Change.org හරහා පෙත්සමක් ආරම්භ කළ යුතුය.
  • අත්සන් 500 සීමාව: පෙත්සමට අත්සන් 500ක් ලැබුණු පසු, වැඩි ප්‍රචාරණයක් ලබා දීම සඳහා එම පෙත්සමේ සබැඳිය (Link) මාස තුනක කාලයක් Manthri.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.
  • අත්සන් 5,000 සීමාව: එම කාලය තුළ පෙත්සමට අත්සන් 5,000කට වඩා ලැබුණහොත්, එම පොරොන්දුව නිල වශයෙන් ‘අනුර මීටරයට’ ඇතුළත් කරනු ලැබේ.

4. විනිවිදභාවය සහ අරමුණ

  • මෙය රජයේ ක්‍රියාකලාපය පිළිබඳ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන ස්වාධීන වැඩපිළිවෙලකි.
  • මහජනයාට ද තමන් සතු තොරතුරු “Contribute Information” බොත්තම හරහා පද්ධතියට ලබා දිය හැකිය.