ගරු කතානායකතුමනි,
ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ වනවිට අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙන මොහොතක, ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් බවත්, ලෝකයේ අංක එකේ සංචාරක ගමනාන්තයක් බවත් ජාත්‍යන්තර මට්මමේ ඇඟයීම් ලැබී තිබෙන මොහොතක, ලෝකයේ ප්රජාතන්ත්රවාදී දර්ශකය අනුව අපේ රට පියවර 15ක් ඉදිරියට ගිය මොහොතක, දූෂණයට එරෙහි ක්‍රියාවලිය පිළිබඳව ලෝකයේම ප්රශස්ත ඇඟයීමක් ලබා දී තිබෙන මොහොතක 2026 වසරට අදාල විසර්ජන පනත ඉදිරිපත් කරන්නට ලැබීම ගැන අපි සතුටු වෙනවා.
අපි මේ කෙටි කාලය තුළ රටේ මනුෂ්‍යත්වය පිළිබඳ අලුත් හැඟීමක් ඇති කළා. සර්ව සාධාරණත්වය ගොඩනැගුවා. ශ්‍රී ලාංකික හැඟිම ඇති කළා. ජාතිවාදය නැති රටක් නිර්මාණය කළා. නීතියේ විධානය හා ආධිපත්‍ය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ආයතන ස්වාධීන කිරීම, පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ දේශපාලනයෙන් මුදවා ගැනීම, නව අණපනත් සම්මත කිරීම, මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට පියවර ගැනීම සහ විදේශ සබඳතා ශක්තිමත් කිරීම අපි ලැබූ සුවිශේෂී ජයග්‍රහණ වෙනවා. ආර්ථිකය ස්ථවර කරමින් ඉහළ මූල්‍ය විනයක් ඇතිකළා වගේම රජයේ ආදායම් ඉහළ නැන්වූවා. අපනයන ආදායම් වර්ධනය, සංචාරක ආදායම් ඉහළ යෑම, විදේශ විනිමය ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම රටේ ස්ථාවරත්වයට ශක්තියක් වුණා. වරාය මෙහෙයුම් ලාභ ඉහළ නංවා ගැනීම, රේගු ආදායම් ඉහළ නංවා ගැනීම, අපේ ආණ්ඩුවේ වසරක ශේෂ පත්‍රය සාක්ෂි සපයනවා.
ඒ අනුව, මේ රටේ ජනතා අභිලාශයන් පලුදු නොකළ සහ එකී අභිලාශයන් පාවා නොදුන් ආණ්ඩුවක් කියන විශ්වාසය පුරවැසියන් තුළ තිරසාරව තිබෙනවා.
මේ ගෙවුණු කාලය තුළ දූෂණය ට එරෙහිව ශක්තිමත් සහ වේගවත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින රටක්. මේ ජාතිවාදය ආගම්වාදය අන්තවාදය ජනතා පරමාධිපත්‍යයෙන්ම අවසන් කළ රටක්. මේ ඉතිහාසයේ කිසිම යුගයක නොතිබුණු තරමට නීතියේ ආධිපත්‍ය සහ විධානය ස්වාධීන කළ රටක්. මේ මහජන මුදල් අවභාවිතා නොකළ සහ මූල්‍ය විනය ගොඩනැගූ ආණ්ඩුවක් තියෙන රටක්. එහෙම රටක අය වැය වාර්තාවක් ඉදිරිපත් කිරීමට ලැබීමේ නිරහංකාර ආත්ම තෘප්තිය අප රජය තුළ තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මහජන මුදල් අවභාවිතා නොකරපු, අනිසි වරප්‍රසාද භාවිතා නොකරපු රජයක දෙවැනි අයවැය අපි රට ඉදිරියේ තබා තිබෙනවා.
ගරු කතානායකතුමණි,
මේ රටේ සමස්ත ජනතාවට සහ අපට අමතක නැති ඉතිහාසයක් තිබෙනවා. මීට වසරකට පෙර ගත් ඉතිහාසගත දේශපාලන තීන්දුව අනුව අපේ ආණ්ඩුව බලයට පත්වුණා. දේශපාලන බලය, රාජ්‍ය බලය හිමිකාරත්වයක් නොව භාරකාරත්වයක් පමණක් බව පසක් කරමින් අපි ගෙවුණු කාලය තුළ රාජ්‍ය පාලනය කළා. නමුත් ජනතාව තාවකාලිකව දුන් බලය සදාකාලික බලයක් බවට පත්කරගන්නට සිහින දැක්ක ඉතිහාසයේ පාලන ක්‍රම ගැන අපට අත්දැකීම් තියෙනවා.
ඒ ගෙවුණු වසරක ශේෂ පත්‍රය වටහාගන්න ඉතිහාසයේ වෙනත් ආණ්ඩු සමඟ සංසන්දනය කිරීම වුණත් ප්‍රමාණවත් කියලා අපි විශ්වාස කරනවා.
අපි මේ කාලය තුළ ප්‍රසිද්ධ තීරණ වෙනුවට ප්රශස්ත තීරණ ගත්තා. අපි මේ කාලය තුළ රට වෙනුවෙන් කුප්‍රකට තීරණ වෙනුවට සුප්‍රකට තීරණ ගත්තා. දේශපාලනඥයන්ගේ සෙවණ යට මෙරටේ ඉතිහාසයේ සිදුවූ අනීතික ක්‍රියාකාරකම් වර්තමානයේ දී අපි සහමුලින්ම අතුගා දැමුවා. බිහිසුණු වංචා දූෂණවලින් කිලිටි වී ගිය චෞර වළල්ලක් ද සහිත දේශපාලන බල අධිකාරය පරාජය කොට නීතියට හිස නමන, රටට ආදරය කරන වගකීම් සහිත පාලන ක්‍රමයකට අපේ රට පරිවර්තනය කළා.
ආණ්ඩුවක් බිහිවී පළමු වසර තුළ කිසිසේත් අපේක්ෂා නොකළයුතු දේවල් සිදුවූ ඉතිහාසයන් අපි පසුකොට තිබෙනවා.
බලය ලබාගෙන මුල් මාස කීපය තුළම තමන්ගේ හිතවතුන්ට, ගජමිතුරන්ට වරදාන වරප්‍රසාද දුන් පාලන යුගවල දුඟද හමන ඉතිහාසය අපිට සිහිපත් වෙනවා.
බලය ලබාගෙන මාස කිහිපයකින් මහ බැංකු මංකොල්ල කෑ පාලන යුග අපි අත්දැක තිබෙනවා. බලයට පත්වී මාස කීපයකින් කෝටි ප්‍රකෝටිගණන් තම හිතවතුන්ට බදු සහන දුන් පාලන යුග අපි අත්දැක තිබෙනවා. බලයට පත්වී මාස කීපයකින් නීතිය සහ අධිකරණය තමන්ට හිතූ හිතූ ආකාරයට දේශපාලනීකරණයට ලක්කළ පාලන යුග අපි දැක තිබෙනවා. බලය ලබාගෙන ඉතාම කෙටි කලක් තුළ මේ රටේ අහිංසක පිළිකා රෝගීන්ට දෙන බෙහෙත් වෙනුවට ඇල්වතුර එන්නත් කරවපු ඇඟහිරි වැටෙන පාලන ක්‍රම අපි දැක තිබෙනවා.
අන්න ඒ බියකරු, අශීලාචාර, අවලස්සන ක්‍රමය අපි වෙනස් කළා.
ගරු කතානායකතුමණි,
පුරවැසියා සහ මහජන නියෝජිතයා අතර තිබූ වෙනස අපි තීරණාත්මක ලෙස වෙනස් කොට තිබෙනවා. දේශපාලනඥයා ජනතාවට ඉහලින් සිටින, ජනතාවට වහලුන්ට මෙන් සලකන, රජෙක් හෝ මහේෂාක්‍ය දෙවි කෙනෙක් ලෙස ගොඩ නගා තිබූ තත්ත්වය වෙනස් කොට ඔහුත් අනිසි වරප්‍රසාද ලැබිය යුතු කෙනෙක් නොවේ කියන අපි තත්ත්වයට පත්කළා. ඔහු ජනතාවගෙන් පත්වූ නායකයෙක් වෙන් පුලුවන්. නමුත්, ඔහු ජනතාව මෙන්ම සාමාන්‍ය චරිතයක් කියන ඇත්ත අපි සමාජය තුළ මේ කෙටිකාලයේ දී සහතික කළා. ඒක අපි ලබපු ජයග්‍රහණයක්. එය තවදුරටත් තහවුරු කිරීම අපේ අරමුණ වෙනවා.
අපි හිටපු ජනාධිපතිවරුන්ගේ අනිසි වරප්‍රසාද ඉවත් කළා. මේ ගැන සමහරුන්ට වේදනාවක් තියෙන්න පුලුවන්. නමුත් අපි ජනතා වරම ප්‍රකාරව වැඩ කළා. වෙනත් රටවල හිටපු ජනපතිවරුන්ට, අගමැතිවරුන්ට දෙන වරප්‍රසාද ගැන සමහරු තර්ක කරනවා. නමුත්, අපේ රට වගේ ඒ රටවල් බංකොළොත් වුණේ නැහැ. අපේ රට අවාසනාවන්ත ලෙස බංකොළොත් වුණා. දරුවන්ට පාසැලක් නැති රටක, තුන්වේල තියා එක වේලක්වත් හරිහමන් කෑමක් නැතිව නිදාගන්න ලක්ෂ ගානක් ඉන්න රටක, තමන්ගේ ජීවිතය බේරා ගන්නට බෙහෙත් ටිකක් ගන්න වත්කමක් නැතිව දුක් විඳින මිනිස්සු ඉන්න රටක, අහිංසක තරුණයෝ රැකියා නැතිව දුක් විඳින රටක, හිටපු ජනාධිපතිවරු වරප්‍රසාද අරගෙන ඉන්න එක අවම තරමේ සදාචාරාත්මක ද? එහෙම ඉන්න පුලුවන්ද?
හැබැයි අපි ඒ ආදර්ශය දී තිබෙනවා. තුන්වේල කන්න නැති මිනිස්සුන්ට පෝෂ්‍යදායි ආහාර වේල් තුනක් ලබාගන්න පුලුවන් ආර්ථිකයක් නිර්මාණය කරන එක, සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබන්න පරිසරයක් හදන එක, සෑම හිසකටම සෙවනක් දෙන එක, සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සෑම පුරවැසියෙකුටම උරුම කරන එක අපේ ඒකායන අරමුණ වෙනවා.
ඒ වගේම අද වෙනකොට ඕනෑම කෙනෙකුට රටට සේවය කිරීමට කැමතිනම් ඒ වෙනුවෙන් යා හැකි පාලමක් නිර්මාණය කරන්නට අපට හැකිවෙලා තිබෙනවා. ඉතා කුඩා තැනක සිට රටේ ඉහළටම යාමේ ඉඩ ප්‍රස්තාවන් අපි විවෘත කර තිබෙනවා. ධනය, බලය හෝ සමාජ තරාතිරම වෙනුවට දක්ෂතාවය, කුසලතාවය සහ හැකියාව ඇති අයට ඒ පාලම විවෘතව තිබෙනවා.
ඉතිහාසයේ තමන්ගේ හිතෛශීවන්තයින්ට සියලු වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍ය පරිදි නීතිය වෙනස් කොට තිබෙනවා. මැතිවරණවලදී තමන්ට උපකාර කළ අයට සැලකීම සඳහා නීති රීති පවා වෙනස් කරමින් ඥාති සංග්‍රහ සහ හිතමිතුරු සංග්‍රහ සිදුකළ ඉතිහාසය අපි නතරකොට තිබෙනවා.
ඒ වගේම ඉතිහාසයේ දී පාතාලයට, මත් කුඩුවලට සම්බන්ධ බොහෝ දෙනාට දේශපාලන රශ්මියේ ආවරණය ලැබී තිබුණා. අද ඒ සියල්ල ඔවුන්ට අහිමි වී තිබෙනවා.
විවිධ තනතුරුවලට පත්කරනවිට අපි බැලුවේ දක්ෂතාවය, හැකියාව, අවංකත්වය, රට වෙනුවෙන් වැඩකිරීමට ඇති උවමනාව සහ කුසලතාවය මිස, අපට උදව් කළාද, අපේ කෙනෙක් ද කියන කාරණය නොවේ. ඔහුගේ දේශපාලන පසුබිම, ජාතිකත්වය, ඥාතීත්වය, ආගම, ඉගෙනගත් පාසැල, හිටපු රට, වැනි දේ අපට අදාල නැහැ. අපට පෞද්ගලික න්යායපත්ර නැහැ. අපට අවශ්‍ය වුණේ මේ අයගේ සේවය ලබා ගැනීමෙන් රටේ ජනතාවට යහපතක් වෙනවද නැද්ද යන කාරණය පමණයි.
දීර්ඝ කාලයක් තිස්සේ අපේ රට පිළිබඳව ආයෝජකයින් තුළ තිබුණේ කළු චිත්‍රයක්. අපි ඒ කළු චිත්‍රය වෙනස් කළා. ආයෝජකයෙක් කියන්නේ අපට සම්පතක්. ඔවුන් දිහා බලන ආකාරය සහ ආකල්පය අපි වෙනස් කළා. ඔවුන් එන්නේ අපට සහයෝගයට කියන ආකල්පය අපි ගොඩනැගුවා. ආයෝජනය සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කළා වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම නොපිරිහෙලා ඉටු කරන්න අපි අවශ්‍ය පරිසරය සකස් කරනවා. ශ්‍රී ලංකාව ආයෝජකයින්ට හිතකර තෝතැන්නක් බවට පරිවර්ථනය කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම, දිගුකාලීන රාජ්‍ය ප්‍රතිපත්ති, ස්වාධීන අධිකරණ පද්ධතියක් සහ දූෂණයෙන් තොර ආයෝජන හිතකාමී පරිසරයක් දැනටමත් ඇතිකර තිබෙනවා. අතයට ගණුදෙනු, අල්ලස් සහ සංතෝසම් විලින් තොර විනිවිද පෙනෙන ආයෝජන වටපිටාවක් දැන් ගොඩනගා තිබෙනවා. ඒ වගේම ආයෝජකයින්ට අවශ්‍ය නව නීති රාමු, වීසා ප්‍රතිපත්ති සහ වෙනත් යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කොට ව්‍යාපාර කිරීමේ පහසුකම් ඇති කරනවා. මෙලෙස පැමිණෙන පලදායී ප්‍රතිපල අත්කර දෙන ආයෝජකයින් සඳහා පහසුකම් සපයන සබදතා කළමණාකරුවෙක් සම්බන්ධ කරනවා. මේක අවංක ලස්සන රටක්, ආයෝජකයින්ට මිත්‍රශීලී රටක් කියන පණිවිඩය අපි දෙනවා.
දෙකෝටියකට වැඩි පුරවැසි පරම්පරාවට හුස්ම ගන්න තියෙන නිවහන මේ රටයි. ඒ වගේම මතු උපදින පරම්පරා ගණනාවකට ජීවත් විමට තිබෙන්නේත් මේ රටයි. අපි නිර්මාණය කරන්නේ ශිෂ්ටසම්පන්න රටක්. සතා සිව්පාවාට පවා ආදරය කරන රටක්. මනුෂ්‍යත්වය පිරුණු රටක්.
රටක් ගොඩනැගීමේ දී ඒ රටේ අධ්‍යාපනය මොන තරම් සුවිශේෂී ද කියන කාරණාව අපි දැඩිව අවබෝධ කරගෙන සිටිනවා. සියලු දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ තිරසාර ප්‍රතිපත්තියේ අප සිටිනවා.
අපේ රටේ අන්ධකාරය මැද හැමදාම තිබුණු රිදී රේඛාව තමයි ක්‍රීඩාව. අපේ රට කුඩා රටක් වුණත් ධෛර්යසම්පන්න ක්‍රීඩාශීලී රටක් බව ලෝකයම දන්නවා. ඒ වගේම ගම්දනව් පුරා ක්‍රීඩාව පිළිබඳව නව සංස්කෘතියක් ගොඩනැගීමත්, ඔවුන්ව දිරිගැන්වීමත් කළ යුතුයි. විශේෂයෙන්ම සමාජ විරෝධි ක්රීයාවන්ට යොමු වීම නතර කිරීමට ක්‍රීඩාව හරහා හැකියාව තිබෙනවා.
ගරු කතානායකතුමණි,
දශක ගණනාවක් තිස්සේ අනාරක්ෂිත, ව්යාකූලසහගත, පීඩාකාරී ඉතිහාස කතාව අවසන් කිරීමේ පරම අයිතිය මේ රටේ ජනතාව අපවෙත භාර දී තිබෙනවා. අප ඒ සුවිශාල සහ සුවිශේෂී ජනවරම ඉතා නිරහංකාර ලෙස වගේම වගකීම් සහගත ලෙස රට ගොඩනැගීමේ උදාර කාර්යය වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. දූෂණයට එරෙහි වීම, ජාතික සංහිඳියාව කරා ගමන් කිරීම, නීතිය සර්ව සාධාරණ කිරීම, වැනි ප්රශස්ත කටයුතු සිදු කිරීම කොතරම් දුෂ්කර වූවත්, අපි ඒ දුෂ්කර කන්ද අධිෂ්ඨානශීලීව තරණය කරනවා.
සෑම ශ්‍රී ලාංකිකයෙකුම යහපත් ජීවිතයක් භුක්ති විඳිය යුතු බවට අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ මාවත සහ සිහිනය යථාර්තයක් කිරීම කෙරෙහි අවංක අපේක්ෂාව ඇතිවයි මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ.
වෙනස් කළ නොහැකි දේවල් පිළිගැනීමට සන්සුන් භාවයත්, කළ හැකි දේවල් වෙනස් කිරීමට ධෛර්යයත්, කළ වෙනස දැන ගැනීමට ප්‍රඥාවත් ඔවුනට ලබා දෙන්න කියා කතාවක් තිබෙනවා. අපි ඒ යථාර්තය අවබෝධ කරගත් ආණ්ඩුවක්.
කතානායකතුමණි,
ඉතිහාසය පුරා ආණ්ඩු ලබා දී තිබෙන්නේ ජනතාවට පටි තද කරගැනීම සහ දේශපාලනඥයින්ගේ පටි ලිහිල් කිරීම පිළිබඳව ආදර්ශ. නමුත්, අද සිදුව තිබෙන්නේ ජනතාවගේ පටි ලිහිල් කිරීම සහ දේශපාලඥයින්ගේ පටි තද කිරීමේ ආදර්ශය. අපට අවශ්‍ය වන්නේ විශාල රාජ්‍යයක් නොව වඩාත් ඵලදායී රාජ්‍යයක්.
රටක අයවැයක් යනු අප උපයන දේ, අප වියදම් කරන දේ සහ ජාතියක් ලෙස අප ණයට ගන්නා දේ මනින ගිණුම්කරණ අභ්‍යාසයක් පමණක් නොවේ. එය හුදෙක් ලියවිල්ලක් පමණක් නොවේ. එය අපගේ සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් මූල්‍ය තිරසාරභාවය සමතුලිත කිරීමට අවශ්‍ය දුෂ්කර සහ විනිවිද පෙනෙන හුවමාරුවල පිළිබිඹුවක්. කොටින්ම, සියළුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සපුරාලීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය ප්‍රතිපාදන බෙදා වෙන් කරනු ලබන්නේ අයවැය තුළින් බව අපි විශ්වාස කරනවා. ඒ අනුව එය රටක් හෙට දවස ගැන සම්මුතියක්!
අප රටක් ලෙස මුහුණ දෙන ගැටළු පැහැදිලියි. ප්‍රමුඛතා පැහැදිලියි. තවදුරටත් රෝග විනිශ්චය අවශ්‍යයි කියා අප විශ්වාස කරන්නේ නැහැ. ඉක්ම ගිය කාලය තුළ අපි රෝගයත්, රෝග මූලයත් අවබෝධ කරගත්තා. දැන් අපි රෝගය සුවපත් කිරීමේ කාර්යයට අවතීර්ණ වී සිටිනවා. එය අභියෝගාත්මක යි. අපි සියලුදෙනා එක්ව අත්වැල බැඳගෙන ඒ අභියෝගය ජයගත හැකියි කියන විශ්වාසය අපට තියෙනවා.
විශේෂයෙන්ම අපේ රටේ අවාසනාවට අපිට අහිමි වූ අති දක්ෂ පිරිසක් රටින් පිට සිටිනවා. සමහරු යුද්ධය නිසා රටින් බැහැර වුණා. සමහරු පාලකයින්ගේ අසාධාරණකම්වලට හිස නොනැමූ නිසා රටින් බැහැර වුණා. එහෙමත් නැත්නම් පාලකයින් විසින් ඒ විශිෂ්ට මිනිස්සුන්ව රටින් නෙරපා හැරියා. මේ රටේ ඉගෙන ගත්ත, සමහරවිට මේ රටේ ඉපදිලා පිට රට ඉගෙන ගත්ත ඒ අයට ලෝකයේ ඉතාම හොඳ අවස්ථා තිබුණා. නමුත් ඒ අය ඒ අවස්ථා භාර නොගෙන තමන්ගේ මව් රටට සේවය කරන්න ආවා. ඒත්, තමන් උපන් බිමේ නිදහසේ හුස්ම ගන්න හෝ ඒ බිමට සේවය කරන්න ඒ අයට ඉඩක් දුන්නේ නැහැ. පාලකයින්ගේ වැරදි දේට හිස නොනැමූ වරද තමයි ඔවුන් කළ වරද. ඒ වගේම ඒ සුදුස්සාට සුදුසු තැන නොදෙන ක්‍රමවේදයට ඒ අය එකග වුනෙත් නෑ. අපි අද ඒ සියලු දෙනාට ආරාධනය කරනවා, ඔබට මේ රට තහනම් බිමක් වූ කාලය ඉවරයි. පරණ ක්‍රමය අවසන්. දැන් තිබෙන්නේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන ක්‍රමයක්. නිදහසේ වැඩ කරන්න එන්න, මේ රටේ දොරටු ඔබට විවෘත යි.
‘අපට අයිති සෑම දෙයක්ම අප වෙත පැමිණෙන්නේ එය ලබා ගැනීම සඳහා හැකියාව සහ අවස්ථාවන් අප නිර්මාණය කළහොත් පමණයි.’ කියා රබීන්ද්‍රනාත් තාගෝර්තුමා පවසනවා.
අල්ලස දූෂණය මුලිනුපුටා දැමීම, සංවර්ධනය උත්තේජනය කිරීම, විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම, යහපත් ජීවිතයක් ආරම්භ කිරීම තුලින් පුණරුදයක් නිර්මාණය කිරීම මේ අයවැයේ අරමුණයි.
අපි විපක්ෂයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අපිව විවේචනය කරන්න. අපිට චෝදනා කරන්න. විරෝධතා දක්වන්න. හැබැයි අඩුම තරමේ රටේ මතු පරපුර වෙනුවෙන් මත්කුඩු ජාවාරම සහ පාතාලය අවසන් කරන්න සටන් කරනකොට, ඒ වගේම දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනකොට ඒකට එරෙහිව අකුල් නොහෙලා සහයෝගය දක්වන්න. අඩුමගානේ විපක්ෂයෙන් ඒ සටනෙ දී වත්, ඒක මේ රට බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමණි,
ඉතිහාසයේ වේදනාබර සිදුවීම් අපට කියන්නේ මේ රට ගොඩනගන්න කියලා. අහිමිවීම්, නොසලකාහැරීම්, පීඩාවන්, තර්ජනයන්, ගර්ජනයන් පිරි අතීතය අපිට කියන්නේ මේ රට ගොඩනගන්න කියලා.
අතීත දරුවන්ගේ පරම්පරාවට මේ රට ඔවුන්ගේ නිවහන ලෙස සැබෑ ආඩම්බරයකින් කතා කරන්න බැරිවුණා. නමුත්, අනාගත පරම්පරාව ඒ ඛේදවාචකයෙන් මුදවා ගත යුතුයි.
වඩා ලස්සන රටක් වෙනුවෙන් තමන්ගේ සෑම සිහිනයක්ම කැප කරමින්, ඒ ලස්සන රට බිහිවෙන්නට පෙර මියගිය සෑම හදවතකම ප්‍රාර්ථනාව තිබුණේ මේ රට ලස්සන රටක් කරනවා දකින සිහිනය.
අපි දෙවුර මතට ගෙන තියෙන්නේ ඒ පවිත්‍ර මිනිස්සුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවන්. ඒ ප්‍රාර්ථනාවන් දේව වාක්‍ය තරම් උවමනාවකින් අපි ඉටුකරනවා.
අඳුරු වලාකුළුවලින් ඔබ්බට හිරු බබළන බවත්, අඳුරු වළාකුළු පහව යන බවත් අපි විශ්වාස කරනවා. ඒ වගේම, අන්ධකාරය මැද දීප්තිමත් රිදී රේඛාවන් නිෂ්චිතවම පායන බවත් අප විශ්වාස කරනවා.
මේ අපි යන ගමනේ දී සතුරන්ගේ වියරු කෑගැසීම් අපට නෑසෙන බවත්, රටේ පුරවැසියන්ගේ අධිෂ්ඨානශීලී බලාපොරොත්තු සහගත දෑස් පමණක් අපට පෙනෙන බවත් සිහිපත් කරනවා.
අපි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් පමණක් නොව සදාචාරාත්මකව ආඩම්බර වන, ගෝලීය වශයෙන් ගෞරවයට පාත්‍ර වූ සහ පුළුල් මානුෂීය ගුණාංගවලින් හෙබි ජාතියක් ගොඩනඟමු.