ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) මහතා අතර ඊයේ (19) දින නවදිල්ලි නුවර දී පැවති ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විය.
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ අතර වෙළෙඳ, සංචාරක, කෘෂිකර්ම, තාක්ෂණික, තිරසර සංවර්ධන සහ වාණිජ යන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. ගෝලීය දකුණේ (Global South) රාමුව තුළ දකුණු-දකුණු සහයෝගීතාව (South-South cooperation) ඉදිරියට ගෙන යාමට නායකයින් දෙපළම සිය කැපවීම ප්‍රකාශ කළහ.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිල නිවේදන සහ වාර්තාවලට අනුව, ජනාධිපතිවරුන් දෙපළ වත්මන් ද්විපාර්ශ්වික වෙළෙඳ තත්ත්වය පිළිබඳවද සමාලෝචනය කළ අතර 2025 වසරේදී දෙරට අතර වෙළෙඳ පරිමාව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 188ක් පමණ වී ඇති බවයි පවතින වෙළෙඳ දත්තවලට අනුව එය බ්‍රසීලය ඩොලර් මිලියන 97-98ක පමණ අපනයනයන් ද, ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 94ක පමණ ආනයනයන් ද සිදු කර ඇත බවයි වාර්තා වන්නේ.
හඳුනාගත් ක්ෂේත්රයන්හි ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා නව අවස්ථා සහ ඒකාබද්ධ වැඩසටහන් ගවේෂණය කිරීමට නායකයින් දෙපළම එකඟ වූහ. රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමේ අරමුණින්, නුදුරු අනාගතයේදී බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වන ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඇරයුම් කරනු ලැබීය.
මෙම හමුව පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේ පැවති ඉහළ පෙළේ ‘AI Impact 2026’ සමුළුව අතරතුරදීය. ජනාධිපති දිසානායක, බ්‍රසීල ජනාධිපති ලූලා, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් මෙම සමුළුවට සහභාගී වී සිටි අතර, එහිදී වගකීම් සහගත කෘත්‍රිම බුද්ධි (AI) සංවර්ධනය, ආචාරධාර්මික රාමු සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ ගෝලීය සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා සහ බ්‍රසීල ජාතික කොඩි ඉදිරිපිට සිට නායකයින් දෙපළ උණුසුම් අයුරින් අතට අත දෙන ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර, ඉන් දෙරට අතර පවතින සහයෝගීතාවය මනාව සංකේතවත් කෙරිණි.
