ඉතිහාසයේ බිහිසුනුම වැස්ස-48ක් මරුට!21ක් අතුරුදන්!

1656856012 naval and fishing communities warned of rough seas l

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.ශ්‍රී ලංකාවටම බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (27) වන විට පුද්ගලයන් 48ක් මරණයට පත්ව තවත් 21 දෙනෙක් අතුරුදන්ව තිබේ.

මේ අතරින් මරණ 38ක් සිදුව ඇත්තේ පෙරේදා (26) සහ ඊයේ (27) දිනවලය. 17දා සිට 23දා දක්වා මරණ 10ක් සිදුව තිබේ.

ආපදා තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක පවුල් 1,729ක පුද්ගලයන් 5,893ක් බලපෑමට ලක්වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය තත්ත්ව වාර්තාව නිකුත් කරමින් සඳහන් කරයි.

මෑත ඉතිහාසයේ වාර්තාවන වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතනයක් පෙරේදා (26) වාර්තා කරමින්මේ වන විට පවතින ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මත තද වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බව රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාව ඇති අතර මෙම 30 දින දක්වා ඇතිවිය හැකි අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තදවැසි සහ සබරගමුව, බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තදවැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැ.කි.මී 60-70 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට පැ.කි.මී 80 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.

ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 60-70ක පමණ ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය. එම නිසා නැවත දැනුම්දෙන තුරු දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

මෙම සුළි කුණාටුව ඊයේ (27) පස්වරු 5.00 පමණ වන විට පොතුවිල් ආශ්‍රිතව කේන්ද්‍රගත වී පැවතිණ.

මේ අතර නුවරඑළිය, වැලිමඩ, ගම්පහ, කිරම, බදුල්ල ඇතුළු නගර රැසක් ද ඊයේ (27) ජලයෙන් යට විය. එමෙන්ම මාර්ග රැසක්ද ජලයෙන් යටවිය.

පසුගිය 16 දින සිට ඊයේ (27) පස්වරු 6.00 පමණ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් ගණන 10කි. පූර්ණ නිවාස හානි 03ක් ලෙසද අර්ධ නිවාස හානි 431ක් ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ඥාති නිවාසවල පවුල් 137ක පුද්ගලයන් 477ක් සිටින බවත් ආරක්ෂිත ස්ථාන 12ක පවුල් 488ක පුද්ගලයන් 441ක් සිටින බවත් එහි සඳහන් වේ.

පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පහසුකම්, ආහාර ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් හරහා සැපයීම සිදුකරණු ලබයි. මාර්ග ගණනාවක් වසා දමා ඇති අතර ඒ වෙනුවෙන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම්, හදිසි ගංවතුර තත්ත්වයන් පිළිබඳ අදාළ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසද එහි හදිසි ආපදා තත්ත්වයක දී 117 දුරකතන හා සම්බන්ධ වන ලෙසද ඔහු ඉල්ලා සිටී.

මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කුඹුක්කන් ඔය, ගල් ඔය, මල්වතු ඔය ද්‍රෝණීන් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම නිසා මහ ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එමෙන්ම කැලණි ගඟ, මල්වතු ඔය, මාදුරු ඔය, මී ඔය, කැලණි ගඟ උප ද්‍රෝණීන් සහ මහවැලි ගංගා නිම්නයේ බදුලු ඔය උප ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟයීම් නිවේදන නිකුත් කර තිබේ.

ඉහළ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, ලොග්ගල්ලාඔය, උල්හිටිය, බෝවතැන්න, ඉබ්බන්කටුව, පුහුල්පොල, ඩයබරා ආදි ජලාශ මෙලෙස වාන්දමන මට්ටමට ඇවිත් තිබෙන බව ද ඔහු සඳහන් කළේය. කලාවැව වාන් දමන තත්ත්වය නිසා ඒ අසලින් ගමන් කරන මාර්ගය යටවී ඇති බවත් මහවැලි කලාපවල තිබෙන කුඩා ජල පද්ධති වාන් දමන මට්ටමක පවති.

පවතින වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තු මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 39ක් හා මධ්‍ය පරිමාණ ජලාශ 36කට අධික ප්‍රමාණයක් මේ වන විට වාන් දමමින් පවතී.

එමෙන්ම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ වර්ෂාමානවල මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ ගම්මඩුව ප්‍රදේශයට පෙරේදා (26) ප.ව. 4.00 සිට ඊයේ (27) ප.ව. 4.00 වන විට මි.මී 455ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවැසීය. ඊයේ (27) පෙරවරු 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාමානවල මි.මී 300.1ක් ලෙස මඩකළපුව දිස්ත්‍රික්කයේ රුගම් ප්‍රදේශයෙන් වාර්තා විය.

සමස්තයක් ලෙස කැලණි, කළු, ගිං, නිල්වලා, වලවේ, මැණික් ගංගාවල සහ කිරිදි ඔය, කුඹුක්කන් ඔය, හැඩ ඔය, මාදුරු ඔය, මහවැලි ගඟ, යාන් ඔය, මා ඔය, මල්වතු ඔය, මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ තත්ත්වයක පවතී. මේ අතර දැදුරුඔය පිටාර ගැලීමට ආසන්නව පවතින නිසා හලාවත නගරයට ගංවතුර තර්ජනයක් මතුව ඇත. සෝමාවතිය පුදබිමද ජලයෙන් යටවී ඇත.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාහි ඊයේ (27) පෙරවරුවේ රික්ටර් මාපාංක 6.6ක අගයකින් යුත් භූ කම්පනයෙන් මෙරට වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දොළහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 59ක් සඳහා නායයාම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. එමෙන්ම එම දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා නායයාම් පිළිබඳ පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units – DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893