කිඹු­ලා­වල කමතේ ප්‍රසං­ග­යට පැමිණි 31ක් ළඟ මත්ද්‍රව්‍ය

01 5

මිරි­හාන පොලිස් වසමේ මාදි­වෙල, කිඹු­ලා­වල ප්‍රදේ­ශයේ වෙල්යා­යක් අස­බඩ පිහිටි “කමත” නමැති ස්ථානයේ පැවැති DJ සංගීත ප්‍රසං­ග­යක් නැර­ඹී­මට පැමිණි තරුණ තරු­ණි­යන් 31ක් සන්ත­කයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පෙරේදා (01) නුගේ­ගොඩ කොට්ඨාස අප­රාධ විම­ර්ශන මෙහෙ­යුම් ඒක­ක­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

One Lon Love Miracle Garden DJ Party නමින් මුහුණු පොත හරහා මෙන්ම විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචා­රය දෙමින් ඔවුන් මේ අව­ස්ථා­වට ගෙන්වා ඇති අතර, මේ සාද­යට තරුණ තරු­ණියෝ 600ක් පමණ සහ­භාගි වී තිබේ.

‘රටම එකට’ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘ­ති­යට සම­ගා­මීව සිදු කරන මෙහෙ­යුම් අත­ර­තුර නුගේ­ගොඩ කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­යට ලද රහ­සි­ගත තොර­තු­රක් මත මේ සංගීත ප්‍රසං­ගය පැවති ස්ථානය අවට මෙහෙ­යු­මක් සිදු කර මේ පිරිස අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය පව­සයි.

මෙහි සිටි තරුණ තරු­ණි­යන් 600ක් අත­රින් සැක­ක­ට­යුතු ලෙස හැසි­රුණු කිහිප දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන පරීක්ෂා කිරී­මේදී සහ ප්‍රශ්න කිරී­මේදී මත්ද්‍රව්‍ය සන්ත­කයේ තබා­ගෙන සිටි තරුණ පිරිස අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් මත්ද්‍රව්‍ය අතර කුෂ්, පිල් නමැති වර්ගයේ ඩාන්සින් ටැබ්ලට්, මැන්ඩි, හෑෂ්, ගංජා, කේරළ ගංජා, ෆී කැප් නමැති මත්ක­රල්, විදෙස් රට­වල නිෂ්පා­දිත නීති විරෝධී දුම්වැටි සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමා­ණ­යක් තිබූ බව ද පොලී­සිය පැව­සීය.

අත්අ­ඩං­ගු­වට පත් තරුණ තරු­ණි­යන් මීග­මුව, අනු­රා­ධ­පුර, ගාල්ල, කඩු­වෙල, හෝමා­ගම, නුගේ­ගොඩ, නුව­ර­එ­ළිය, හැටන් ඇතුළු විවිධ ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන් බවත්, මොවුන් වයස අවු­රුදු 16 සිට 35 අතර වයස් කාණ්ඩ­වල පසු­වන බවත් පොලී­සිය පැව­සීය.

දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල පැවැ­ත්වෙන මෙවැනි සාද­ව­ලට පැමි­ණෙන තරුණ තරු­ණි­යන් පිළි­බ­ඳව මවු­පි­යන් මීට වඩා සැල­කි­ලි­මත්ව සොයා බලා ක්‍රියා කළ යුතු බවත්, නැත­හොත් ඉදි­රි­යේදී තරුණ පිරිස මත්ර­කු­සා­ගෙන් බේරා­ගැ­නීම එත­රම් පහසු කාර්ය­යක් නොවන බවත් පොලී­සිය මවු­පි­යන්ට දැනුම් දීමක් ද සිදු කරයි.

අත්අ­ඩං­ගු­වට ගත් තරුණ පිරිස නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.