හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම දේශපාලන මිතුරන් හා මාධ්‍යවේදීන් කීප දෙනකු වට කරගෙන මෙවර අයවැය මෙවන් එකක් විය හැකි යැයි කරුණු සාකච්ඡා කරමින් සිටියහ.
“ජනතාවට හීන පෙන්නලා ආපු ආණ්ඩුව ගිය පාරත් අයවැයෙන් ජනතාව හීනෙන් නැගිටෙව්වා වගේ රවට්ටල දැම්මා. වේදිකාවන් වල කියපු සුරංගනා ලෝක මවාගෙන අඩු මිලට වාහන ගන්න, ව්‍යාපාර පටන් ගන්න, රැකියා අවස්ථා උදාකර ගන්න, කොටින්ම කිව්වොත් ඉන්න හිතෙන රටක ජීවත් වෙන්න පොදු ජනතාව බලාගෙන හිටියා. මේ පාරත් ඉතින් වැඩි වෙනසක් වෙන එකක් නෑ. ජනතාවට ජීවත්වෙන එක තව ටිකක් අමාරු වෙයි…”
“2024 අවුරුද්දේ ඉඳන් වැදගත්ම කාරණය වුණේ 2028 දී ණය ගෙවන්න ආරම්භ කරන්න පුළුවන්ද කියන කාරණයය. එහෙම ණය ගෙවන්න පුළුවන් කියන කාරණය තාම මට නම් පෙන්නුම් කරලා නැහැ” රනිල් තමන්ගේ දේශපාලන ඥානය පෙන්නුම් කරමින් විග්‍රහයක් කළේය.
“ටුවරිසම් වලිනුත් බලාපොරොත්තු වෙච්ච ආදායම පැමිණ නැහැ නේදැයි” දිනිත් චින්තක ඇසූයේ සංඛ්‍යා ලේඛන කිහිපයක් ද ඉදිරිපත් කරමිනි.
“කාමර ගාස්තුත් වැඩි වෙලා, නේපාලයේ කරදරවලින් පස්සේ සංචාරකයන්ට යන්න තැන් තිබුණේ නැහැ. ළඟම තැන තිබුණේ ලංකාව, නමුත් ලංකාව ඒකට මාකට් කළේ නැහැ. අපි තාම එක තැන හිරවෙලා ඉන්නේ. ලොකුම අර්බුදය වෙලා තියෙන්නේ අපේ වෘත්තිකයන් වැඩි හරියක් දැන් රට ගිහිල්ලා” රනිල් එසේ කීවේ දිනිත් මතු කළ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි.
“අනෙක් අර්බුදය තමයි අපේ රුපියල බාල්දු වෙලා. රුපියල බාල්දු වෙලා තියෙන නිසා රුපියලේ මිලත් අඩුවෙනවා. ඩොලරය රුපියල් 275 මට්ටමකට එනු ඇති බවත් එතැන් සිට තවත් අඩුවනු ඇති බවත් ආණ්ඩුවේ උදවිය විශ්වාස කළා. ඒත් දැන් වෙලා තියෙන්නේ තවත් රුපියල බාල්දු වෙච්චි එක. අපි කතා කරන්න ඕන මේවා ගැන තමයි. වෙන වෙන වල් පල් කතා කළාට වැඩක් නැහැ. රනිල් වත්මන් ආර්ථිකයේ අඳුරු පැතිකඩක් ගැන විශ්ලේෂණයක් ද කළේ එසේය.