ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරට අදාළ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඊයේ (11) එම අමාත්‍යාංශයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) සහ GovTech (Pvt) Ltd යන ආයතනවලට අයත් ඩිජිටල් සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරි වැඩපිළිවෙළ පරීක්ෂා කිරීම, ප්‍රමාදවීම්වලට හේතු වන බාධක සහ අභියෝග හඳුනාගැනීම මෙන්ම, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ පරිපාලන තීරණ ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
2026 වසර සඳහා යෝජිත අයවැය ප්‍රකාශයේ කේන්ද්‍රීය සාධකය වන ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් සිදු කෙරෙන රජයේ ආයෝජන සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව එහිදී අවධාරණය කළ මම, දිවයින පුරා පිහිටි දුරකථන කුලුනු සහ අනෙකුත් ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික ආයෝජකයින් දිරිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය ගොඩනැගීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ඩිජිටල් විප්ලවයට ජනපති අයවැයෙන් තැබූ බර මෙන්න.
නවීකරණය හා ඩිජිටල්කරණය
ගරු කථානායකතුමණි,
ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සැමට ප්රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයට සහ ගෝලීය තරඟකාරිත්වයට තීරණාත්මක මාවතකි. සංවර්ධන මාවතේ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන් මග හැරී ඇති නමුත් මෙම ඩිජිටල්කරණ අවස්ථාව අතපසු නොකළ යුතුය. 2026 දී රුපියල් මිලියන 25,500 කට අධික රජයේ ආයෝජනයත් සමඟ, ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට හැකියාව ඇත. යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සැපයීම, ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ නවෝත්පාදන-හිතකාමී පරිසරයන් පෝෂණය කිරීම මගින්, මෙම යෝජනාවන් තිරසාර ඩිජිටල් දියුණුව සඳහා ක්‍රියාකාරී මාර්ග සිතියමක් සපයයි.
- රාජ්‍ය ආයතනවලට අදාළ ගෙවීම් කිරීමට GovPay පද්ධතිය ප්‍රචලිත කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම, ජනාධිපති අරමුදල, තානාපති කාර්යාලවලින් පුරවැසියන්ට ලබා දෙන ලේඛන සේවා කාර්යක්ෂම කරවීම, ඩිජිටල්කරණය වේගවත් කිරීමට GovTech ආයතනය පිහිටුවීම, ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ 5G බලපත්‍ර සාර්ථකව ලබා දීම වැනි කාර්යයන් සඳහා ඉතා හොඳ පිවිසුමක් ගෙන තිබෙනවා. සෑම පුරවැසියෙකුගේම සහභාගිත්වය සහතික කිරීම සඳහා රට පුරා බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය පුළුල් කරමින් සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් අළුත් ව්‍යවසායකයන්ට සහාය දක්වන පරිසර පද්ධතියක් පෝෂණය කරමින් සිටිනවා. කෘතීම බුද්ධිය, ක්ලවුඩ් (cloud) පරිගණක සහ දත්ත ගබඩා ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.
- දත්ත ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධන සහිතව සම්මත කර තිබෙනවා. තවද, ඩිජිටල් ආර්ථික පනතක් මඟින් ඩිජිටල් ආර්ථික අධිකාරිය මෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරනවා.
- ශ්‍රී ලාංකීය ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI), ජාතික දත්ත හුවමාරුව, ලංකා රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජයේ සේවාවන් සැපයීමට තනි පියැසි ඩිජිටල් අතුරුමුහුණතක් සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීම වැනි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ තීරණාත්මක ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා. 2026 වසර මුලදී ශ්‍රී ලංකාවෙහි ඒකීය ඩිජිටල් අනන්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. 2026 වසරේ 3 වන කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරනවා.
- මුදල් නෝට්ටු භාවිතයට ඇති නැඹුරුතාවය අඩු කර ඩිජිටල් මාර්ගයන්ගෙන් ගනුදෙනු කරන සමාජයක් කරා පරිවර්තනය කරවීම ආරම්භ කර තිබෙනවා – මෙම පරිවර්තනයේ අරමුණ වන්නේ ගනුදෙනු පහසුකරවීම, ඒ සඳහා යන වියදම අඩු කිරීම, මුදල් අවභාවිතයන් අවම කිරීම හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමයි. 2025 පළමු කාර්තුව තුළ රජයේ ගෙවීම් සඳහා Lankapay මාර්ගගත වේදිකාව හරහා පමණක් රුපියල් බිලියන 575 ක ට වැඩි ගනුදෙනු සිදුව තිබෙනවා. මුදල් නෝට්ටු රහිත සමාජයක් ඇති කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා, සියලුම රජයේ ගනුදෙනු සඳහා මාර්ගගත ගෙවීම් මාදිලිය හරහා පහසුකම් ලබා දීමට යෝජනා කරනවා. ආරම්භයක් ලෙස මේ සඳහා දිරිගැන්වීමක් ලබා දීමට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කිරීමේදී සේවා ගාස්තු අය නොකිරීමට යෝජනා කරනවා. මෙම ගනුදෙනු පිරිවැය ආවරණය කිරීම සහ පද්ධති වැඩිදියුණු කිරීම් සහ මහජන දැනුවත් කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. තවද, අවශ්‍ය පහසුකම් සැලසීමට හා ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- මේ අනුව, 2026 ජනවාරි මස 1 වන දින සිට, රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වන සියලුම සේවා ගාස්තු ඉවත් කරනු ලබන්නට අවසර ලබා දෙනවා. තවද, QR කේත ක්‍රමයට අනුව ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා, රුපියල් 5,000 ට අඩු වටිනාකමක් ඇති QR කේත ගෙවීම් කිසිම පිරිවැයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හරහා ලබා දෙන්නට යෝජනා කරනවා.
- දත්ත මධ්‍යස්ථාන සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දී අප විසින් ගත යුතු තීරණාත්මක පියවර රැසක් තිබෙනවා. ඒ අතර; දත්ත ආරක්ෂාව, රහස්‍යභාවය, පෞද්ගලිකත්වය, හා ඩිජිටල් පාලන නීති පද්ධති සවිබල ගන්වමින් ආයෝජක විශ්වාසය තහවුරු කිරීම අවශ්‍යයි. එය දැනටමත් අප විසින් සිදුකරමින් පවතිනවා. මෙම ආයෝජනයන් දිරි ගැන්වීම සඳහා මූල්‍ය සහන, හරිත බලශක්ති භාවිත සහන, ආරම්භක අධියරේ දී අඩු පිරිවැයට විදුලිය, අවශ්‍ය ඉඩම් සහනදායී ලෙස ලබා දීම, හරහා විදේශීය සහ දේශීය ආයෝජකයන්ට ආකර්ෂණීය වාතාවරණයක් සකස් කළ යුතු වෙනවා. මෙමඟින් ශ්‍රී ලංකාවට දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය සඳහා කළාප මධ්‍යස්ථානයක් ලෙස විකාශනය වීමට ඉහළ විභවතාවයක් තියෙනවා. මේ සඳහා ආරම්භයක් ලෙස 2026 වසරට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ඩිජිටල් යටිතල පහසුකම් සහ කෘතීම බුද්ධිය ප්රමුඛ නවෝත්පාදනයන්හි කලාපීය ප්රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ උපායමාර්ගික ඩිජිටල් යටිතල පහසුකම් ව්යාපෘතිසඳහා මධ්‍ය කාලීන අරමුදල් රජය විසින් සපයනවා. නවෝත්පාදනයන් වර්ධනය කිරීම, තෝරාගත් කෘතීම බුද්ධි ව්යාපෘතිසඳහා අරමුදල් සැපයීම, විදේශීය පුහුණු ශිෂ්‍යත්ව සහ දේශීය භාෂා දත්ත කට්ටල සංවර්ධනය කිරීම, විශ්ව විද්‍යාල සහ පාසල් ක්ෂේත්රයේ පර්යේෂණ සහ සංවර්ධන අරමුණු වෙනුවෙන් කෘතීම බුද්ධිය සහ ක්ලවුඩ් පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. සියළු පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණය සඳහා සාධාරණ ප්‍රවේශය පුළුල් කිරීම පිණිස, අධ්‍යාපනය හා සම්බන්ධ ප්රවේශයන් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්, අස්වැසුම සහ අනෙකුත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට අපේක්ෂා කරනවා. එමඟින්, මාර්ගගත අධ්‍යාපනය සහ ඩිජිටල් ආර්ථිකයට සහභාගී වීම වඩාත් සක්‍රීය කිරීම අරමුණ වෙනවා. මෙමලින්, ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීම තුලින් ප්රතිලාභ ලබා ගත හැකි සමාජයක් සහතික කෙරෙනවා.
- ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා, සන්නිවේදන කුළුණු වැනි ඩිජිටල් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා වඩාත් සරල වූ සහ කඩිනම් අනන්‍ය අනුමත කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරනු ලබනවා. මෙම ඩිජිටල් තාක්ෂණ ව්‍යාප්ති වැඩසටහන යටතේ ඉදිකරන ලද නව කුළුණු සඳහා අදාළ වන බද්ද වසර 5 ක කාලයක් සඳහා අත්හිටුවීමට යෝජනා කරනවා.
- ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා, ඇරඹුම් සඳහා වන වටපිටාවෙහි (Star-ups ecosystem) වර්ධනය වේගවත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක (රුපියල් බිලියන 1.5) මූලික ආයෝජනයකට රාජ්‍ය අනුග්‍රහය සහිත අරමුදලක් 2026 වසරේ දී ආරම්භ කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හරහා ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. අපනයන සහ රැකියා උත්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම සඳහා ආයෝජන මණ්ඩලය හරහා “අතථ්‍ය විශේෂ ආර්ථික කලාපයක්” (Virtual Special Economic Zones) ද ස්ථාපනය කිරීමට යෝජනා කරනවා.