Continental ප්‍රධානියාට ඇප

bup dft dft 13 5

අත්අඩංගුවට ගත් Continental Insurance Lanka Limited හි ප්‍රධාන විධායක නිලධාරී මයිලන්ආරච්චිගේ දොන් වෙන්සස්ලාවුස් ජෙරාඩ් ලාසරස් ගුණදාස හෙවත් ජෙරී ගුණදාස මහතාව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අතිරේක රස පරීක්ෂකවරයාට අල්ලස් ලබාදීම සඳහා වූ ගෙවීම්වලට මෙම සැකකරු අනුමැතිය ලබාදී තිබෙන බවට තොරතුරු හෙළි වී ඇතැයි පැවසුවේය.

ඒ අනුව මෙම සැකකරු දූෂණය නමැති වරදට ආධාර අනුබලදීම සහ රජයේ සේවකයෙකුට තුටු පඬුරු ලබාදීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බවත් විමර්ශන කටයුතු අවසන් නැති නිසා මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මෙහිදී කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Continental Insurance Lanka Limited) වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හෝ තම සේවාදායක සමාගම කිසිදු ආකාරයකින් අල්ලස් ලබාදීමේ ක්‍රියාවකට දායකවී නොමැති බව පැවසීය.

රිමාන්ඩ් භාරයේ පසුවන අතිරේක රස පරීක්ෂකවරයාගේ සේවය තම සමාගම විසින් ලබා ගත්තේ නීත්‍යානුකූල ආකාරයකින් බවත් ආයතන සංග්‍රහය යටතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෞද්ගලික සේවාවන් සැපයීමට නීතිමය හැකියාව තිබෙන බවත් ජේෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල සඳහන් කළේය.

මෙම සමාගම පසුගිය කාලය තුළ අනතුරට පත් වාහන සහ අනෙකුත් අනතුරු වෙනුවෙන් රුපියල් බිලියන 13කට වැඩි වන්දි ගෙවා තිබියදී අල්ලස් ලබාදී නීති විරෝධී රස පරීක්ෂක වාර්තා ලබාගන්නේ කුමකටදැයි ඔහු ප්‍රශ්න කළේය.

අල්ලස් කොමිසමට සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබේද?ජේෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල අසයි.

පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පාර්ශවයන්ට රුපියල් බිලියන තුනකට අධික වන්දි මුදලක් ගෙවීමට නියමිතව තිබෙන බව ඔවුන් පැවසීය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Continental Insurance Lanka Limited ) නියෝජ්‍ය සභාපති ගනේආරච්චිගේ දේශංකර් චමින්ද ද සිල්වා මහතා ද බන්ධනාගාරගත කොට තිබේ. මෙම සැකකරු ද රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් එම කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

දිත්වා සුළිකුණාටුවේ බලපෑමෙන් මෙරට සිදුවූ විනාශයෙන් පසු සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් කඩිනමින් කටයුතු කරමින් සිටින අතර, සුළු දේපල හානි සඳහා වන්දි ගෙවීම් දැනටමත් ආරම්භ කර ඇති අතර එය ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදුවන්නකි. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමට අනුව, බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ දේපළ හිමියන්ට සහායවීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සියලුම රක්ෂණකරුවන් සමඟ රැස්වීමක් කැඳවනු ලැබීය.

එහිදී උපදෙස් දී ඇත්තේ කඩිනමින් අදාල රක්ෂණ සහන සලසන ලෙසට ය.

එවන් පසුබිමක් තුල ආයතනයේ ප්‍රධානින් දෙදෙනාම බන්ධනාගාරගත කළහොත් අදාල වන්දි ලබා දෙන්නේ ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවදැයි‘ ජේෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරල විමසා සිටියේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෞද්ගලික අංශය ඉලක්ක කරගෙන මේ සිදුකරන ක්‍රියාවලිය තුල සැඟවුණු න්‍යායපත්‍රයක් තිබේදැයි ජේෂ්ඨ නීතීඥවරයා විමසා සිටි අතර මේ ව්‍යසනකාරී පසුබිම තුල රක්ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන බව දැන දැනම කරන මේ ක්‍රියාවලිය හරහා ආණ්ඩුව පවා අපකීර්තියට පත්වන බව පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය. Continental Insurance Lanka Limited වෙනුවෙන් ඇප අයදීම ජේෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් යුක්ත හෆීල් පාරිස්,ශැනොන් තිලකරත්න,අශ්වින් ප්‍රගාෂ්,සංජීව කොඩිතුවක්කු,අකිල අමුණුගම,බෙත්මි බාලසූරිය,සෙනුරි විදානපතිරණ යන නීතීඥ කණ්ඩායම කටයුතු කළහ.

කවුද මේ ජෙරී ගුණදාස

bup dft dft 13 5

ජෙරී ගුණදාස ගෞරවනීය වරලත් රක්ෂණකරුවෙකු වන අතර ඔහුගේ විශිෂ්ටත්වයේ ගමන 1962 දී වයස අවුරුදු 18 දී ආරම්භ විය. 1963 දී සාමාන්‍ය රක්ෂණය ජනසතු කිරීමෙන් පසු, ඔහු ප්‍රමුඛ රක්ෂණ සමාගමකට සම්බන්ධ වූ අතර එහිදී ඔහු වසර 18 ක් පුරා සහකාර සාමාන්‍යාධිකාරී තාක්ෂණික තනතුරට පත්විය.

ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් ගුණදාස එහි සිය තනතුර අවසන් කර 1981 දී INSCO ඩුබායි සමඟ එක් වූ අතර 1981 සිට 1991 දක්වා ඩුබායි සහ අබුඩාබි මෙහෙයුම් සඳහා ශාඛා කළමනාකරු ලෙස සේවය කළේය. මෙයින් පසුව, ඔහුගේ විශේෂඥතාව නිසා ඔහු 1991 සිට 2002 දක්වා සෞදි අරාබියේ සමුපකාර රක්ෂණ සඳහා වූ ජාතික සමාගමේ සාමාන්‍ය රක්ෂණ සහ ප්‍රතිලේඛන ප්‍රධානියා ලෙස සේවය කිරීමට හේතු විය.

ශ්‍රී ලංකාවට නැවත පැමිණි ඔහු රක්ෂණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් විවිධ ප්‍රමුඛ රක්ෂණ සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරීය. 2009 දී ආරම්භ කළ දා සිට ඔහු කොන්ටිනෙන්ටල් රක්ෂණය සඳහා ඔහුගේ දැනුම හා නායකත්වයේ ධනය ගෙන ආ අතර, අද වන විට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස, ඔහු තම උපායමාර්ගික දැක්ම සහ පුළුල් අත්දැකීම් සමඟ සමාගම ඉදිරියට ගෙන යයි. ඔහුගේ කැපී පෙනෙන වෘත්තීය ජීවිතය පුරාම, ක්ෂේත්‍ර නිලධාරීන් සහ කර්මාන්ත වෘත්තිකයන් සඳහා කථිකාචාර්යවරයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස රක්ෂණ අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනයේ දියුණුව සඳහා ඔහු ගැඹුරින් කැපවී සිටී. ඔහුගේ තාක්ෂණික දැනුම සහ ජාත්‍යන්තර නිරාවරණය ඔහුව වෘත්තිය තුළ උපදේශකයෙකු බවට පත් කර ඇත.