ගොවිබිම් හෙක්ටයාර් 125,000ක් විනාශයි.

destroyed paddy fields

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියයි

 සුළිකුණාටුව හේතුවෙන් කෘෂි බිම් හෙක්ටයාර් 125,600 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත විමලේන්ද්‍ර ෂරන් විසින් දිට්වා සුළි කුණාටුවෙන් මෙරට ආහාර ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම් පිළිබඳ සකස් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව වී හෙක්ටයාර 108,000 ක්ද, අනෙකුත් ක්ෂේත්‍ර භෝග හෙක්ටයාර 11,000 ක්ද බඩඉරිඟු හෙක්ටයාර 6,600 ක්ද සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බව පවසන එම වාර්තාව, මඩකලපුව, අනුරාධපුරය, පුත්තලම සහ පොළොන්නරුව යන ප්‍රදේශවල කුඹුරු ඉඩම්වලින් සියයට  75 ක් ද මොනරාගල, මාතලේ, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල කෙත්වතුවලින් සියයට 40-65 ක් පමණ ද විනාශ වී ඇති බව කියයි.

මෙරට යළි ගොඩනැගීමේ කටයුතුවල දී කුඩා පරිමාණ ගොවීන් සහ ධීවරයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, කෘෂි ආධාර ප්‍රමාද වුවහොත් ජාතික ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් එමගින් අනතුරු අඟවයි. 

කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම සහ හලාවත යන ප්‍රදේශවල කළ සංචාරවලින් පසු ඇස්තමේන්තු කර ඇත්තේ බීජ සහ පොහොර වහාම ලබා දෙන්නේ නම් හානියට පත් කුඹුරු ඉඩම්වලින් සියයට 25-30 ක් මෙම කන්නයේ නැවත වගා කළ හැකි බවය. ධීවර ප්‍රජාව ද බෝට්ටු, ආම්පන්න සහ ගොඩබෑමේ ස්ථාන යටිතල පහසුකම් ඉක්මනින් ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.