වත්මන් ශ්‍රී ලංකාව යනු “යථා තත්ත්වයට පත්වීමේ කතාවක් නොව, පරිවර්තනය වීමේ කතාවක්” (not a recovery story, but a transformation story) බව විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත සහ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පසුගිය දා (27) සිංගප්පූරුවේ Shangri-La හෝටලයේදී පැවති කොළඹ වරාය නගර විශේෂ ආයෝජක සමුළුවේ (Exclusive Port City Colombo Investor Forum) දී පැවසීය.
මෙම සමුළුව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ කොළඹ වරාය නගරය ඒකාබද්ධව සංවිධානය කර තිබූ අතර මෙහි දී ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය කොළඹ වරාය නගරය ලෙස හඳුන්වා දෙනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, දිගුකාලීන අවස්ථා සහ රට කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳ පැහැදිලි පණිවුඩයක් ලබා දෙමින් පැවති මෙම සමුළුව සඳහා දේපළ වෙළඳාම්, මූල්‍ය සේවා, ආයෝජන සහ වත්කම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජකයින් සහ කලාපීය ව්‍යාපාරික නායකයින් 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති ශීඝ්‍ර දියුණුව, ස්ථාවර උද්ධමනය, නව ආර්ථික වර්ධනය සහ ශක්තිමත් විදේශ සංචිත පිළිබඳව කරුණු අවධාරණය කරමින් හනීෆ් යූසුෆ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ආයතන පවා ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති මෙම ආර්ථික පුනර්ජීවනය මෑත ඉතිහාසයේ වේගවත්ම එකක් ලෙස පිළිගෙන ඇති බවයි.




