සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, ගාසා තීරයේ පලස්තීන ජනතාව තවමත් ගැඹුරු කම්පනයට හා භීතියට ලක්ව සිටින බව වාර්තා වේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ගසා තීරය තුළ සටන් විරාමයක් තිබියදී දකුණු ගාසා නගරයක් වන ඛාන් යූනිස් අසල ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව aljazeera වෙබ් අඩවිය පවසනවා.
aljazeera සඳහන් කරන්නේ ඊශ්‍රායල ඩ්‍රෝන යානවල අඛණ්ඩ ශබ්දය, කාලතුවක්කු ප්‍රහාර, පිපිරුම්වල හඬ තවමත් ගසා තිරය පුරා පැතිරෙමින් පවතින බවයි.
මේ සියල්ල පලස්තීන ජනතාව අතර “ගැඹුරු කම්පනයක්” ඇති කරමින් පවතී.
හමාස් සංවිධානය මියගිය ප්‍රාණ ඇපකරුවෙකුගේ දේහයක් භාර දී ඇත. තවත් ප්‍රාණ ඇපකරුවන්ගේ දේහ 12ක් ඊශ්‍රායලය විසින් ඉල්ලා සිටින අතර ඉතිරිව ඇති එම දේහයන් 12 සොයා ගැනීම සඳහා හමාස් සංවිධානය වැඩි පීඩනයකට ලක්ව සිටින අතර ඔවුන් කියා සිටින්නේ දේහයන් සොයාගැනීම ඉතාමත් අපහසු කාර්යයක් බවත්, ගොඩනැගිලිවලට යට වී තිබෙන එම දේහයන් සොයාගැනීමට විවිධ යන්ත්‍රෝපකරණ අවශ්‍ය බවයි.
ඊශ්‍රායලය විසින් ලබාදුන් ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පලස්තීනුවන් විසින් මේ වන විට භූමදානය කරමින් සිටිනවා.
පලස්තීනුවන් ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය විසින් ලබා දුන් ප්‍රාණ ඇපකරුවන්ගේ දේහ වලින් බොහෝ දේහ හඳුනා ගත නොහැකි තත්ත්වයේ පවතින බවත් එම දේහයන් තුළ වධහිංසා පැමිණවීමේ සහ විකෘති කිරීමේ සලකුණු දක්නවට ලැබෙන බවත්ය
ජාත්‍යන්තර හමුදා බලකාය
සටන් විරාමයක් පවතින තත්වයක් තුළ ගාසාවේ සටන් විරාමය අධීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපදය යෝජනා කර ඇති ජාත්‍යන්තර බලකායකට තුර්කි සොල්දාදුවන්ට සහභාගී වීමට ඊශ්‍රායලය ඉඩ නොදෙන බව ඊශ්‍රායලයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් 2023 ඔක්තෝම්බර් 07 දින සිට අවම වශයෙන් පලස්තීනුවන් 68,527 ජිවිතක්ෂයට පත්වී 170,395 තුවාල ලැබා ඇති අතර ඊශ්‍රායල වැසියන් 1,139ක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.