විසාලා මහනුවර විනාශයේ විලාසය

people use boats to move on a flooded street as others stand around, following heavy rainfall in malwana

සිය ගණනක් වටිනා ජීවිත රටට අහිමි කරමින් ‘දිට්වා’ රටින් පිටවී ගියේ පසුගිය 29 වැනිදාය. දිට්වා පිටවී යද්දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල සංඛ්‍යාලේඛනවලට එහා ගිය දැවැන්ත හානියක් රටේ බොහෝ ප්‍රදේශවලට සිදුවී ඇති බවට වූ වාර්තා සමග ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් මහනුවර දිස්ත්‍රික්කය බලා පිටත්වූයේ නොවැම්බර් 30 වැනිදා උදෑසන 7ට පමණය.

කොළඹ සිට මහනුවරට යන මාර්ගවලින් යෑමට යම් තරමකට හෝ හැකියාව තිබුණේ ගලගෙදර හරහා යන මාර්ගය පමණි. මාවතගම සිට කටුගස්තොටට ගලගෙදර හරහා යෑමට ගතවූ කාලය පැය 03ක් පමණ වේ. මාර්ගය වෙත තැනින් තැන පතිත වී තිබූ මහා පස්කඳු ඒ වන විටත් ඉවත් කර නොතිබිණි. ප්‍රදේශවාසීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් සේවකයන් එම බාධක ඉවත් කිරීම සඳහා ලොකු වෙහෙසක් ගන්නවා දැක ගත හැකි විය. ‘දිට්වා’ රටින් පිටවූ දිනයේම අලුයම මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ රඹුකේඇල ගම්මානයේ දැවැන්ත නායයෑමක් වාර්තා වූ ස්ථානයට යෑම සඳහා කටුගස්තොට සිට අකුරණ හරහා අලවතුගොඩට යද්දි මග දෙපස සුලබ දසුනක් වූයේ ගංවතුරට යටවූ නිවාස සහ කඩ පිරිසිදු කරන දසුන්ය.

Kandy Landslide
රඹුකේඇල නායයෑමේ ඉහළ කොටස

දරුවන්ගේ පොත්පත් ඇතුළු උපකරණවල සිට ඉලෙට්‍රෝනික් උපකරණ, වාහන උපකරණ ඇතුළු බොහෝ දේට ගංවතුරෙන් දැඩි බලපෑමක් සිදුවී තිබිණි. එම බලපෑම අවසානයේ ඒවායේ හිමිකරුවන්ගේ ජීවිතවලට කරන බලපෑම අතිමහත් විය. ගංවතුර ආපදා පසුකරමින් නාය ආපදා ස්ථානයට යෑමට සිදුවීමම ‘දිට්වා’ කළ හානිය සහ ‘දිට්වා’ ගැන හරි ඇගයීමක් නොමැතිකම නිසා සිදු වූ හානිය මොනවට පැහැදිලි කළේය.

අලවතුගොඩ පොලිසිය අසලින් අංකුඹුර මාර්ගයේ ගොස් ඇල්ලේකඩේ අසලින් අදාළ රඹුකේඇල ගම්මානයට යෑමට කාපට් ඇතිරූ බස් යන පාරක් තිබුණ ද, ඇල්ලේ කඩේට මීටර කිහිපයක් දුරින් එම මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා සම්පූර්ණයෙන් පාර වැසී ගොස් තිබිණි. ඒ අනුව නාය ගිය ස්ථානයට යෑම සඳහා කිලෝමීටර අටක පමණ දුෂ්කර ගමණක් යෑමට අපට පමණක් නොව සහන සේවා කණ්ඩායම්වලට ද සිදුවිය.

Kandy Landslide 1
ගලගෙදර ප්‍රධාන මාර්ගය අයිනේම ඇති නිවසක්

දිවිගලවාගත් එකම කෙනා රමිත්

රඹුකේඇල ගම්මානය දෙකඩ කරමින් සිදුවී තිබුණු දැවැන්ත නායයෑමෙන් නිවාස 23ක් හානියට පත්වී තිබිණි. එම අවස්ථාවේ නිවාසවල සිටි පිරිසෙන් දිවි බේරා ගැනීමට හැකි වූයේ එක් පුද්ගලයකුට පමණි. ඒ රෂ්මිත් ය. මුලින් නිවසක් හානිවෙන ශබ්දය ඇසී තම ගෙදරින් පැන ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ජීවිතය ගැලවිණි. එහෙත් මහ දැඩි වර්ෂාව මැද නින්දේ සිටි ළමයින් 10 දෙනකු ඇතුළු 29 දෙනකුට නායට බිලිවන්නට විය. ඇසුණු මහා ශබ්දය සමග අවට පිරිස් එළියට බැස සිදු වූයේ කුමක්දැයි සොයා බලන්නට තරම්වත් නොහැකි වන තරමට වැස්ස ඇදහැලෙමින් තිබුණු අතර නායයෑම්වලින් සිදු වූ හානි නිසා විදුලිය ද විසන්ධි වී පැවතිණි.

“පාන්දර තුනයි ගාණට විතර ලොකු සද්දයක් ඇහුණා. අපි ඇහැරලා බැලුවා. වැස්ස හෝ ගාලා, කාටවත් එළිබහින්න බෑ. විදුලියත් නෑ. උදේ තමයි ආරංචි වුණේ. ඊට පස්සේ උදේ මිනී කිහිපයක් ගොඩදැම්මා. ගමේ සෙට් එකම ජාති බේදයක් නැතුව එකතු වෙලා මිනී 08ක් විතර ගොඩ ගත්තා. තවත් තියනවා. බොහොම අසීරු තත්ත්වයෙන් තමයි ගොඩ දැම්මේ. සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම එකට වැඩ කළා.” යැයි ප්‍රදේශවාසියකු වන 46 හැවිරිදි සිවරාජ් ප්‍රකාශ කළේය.

Kandy Landslide 3
ගෙලිඔය

පූර්ව අනතුරු ඇඟවීම් කළත් අදාල තැනට නෑ

ළමයින් පස් දෙනකුගේ සිරුරු ඇතුළු සිරුරු 11ක් රඹුකේඇල නායගිය ස්ථානයෙන් සොයා ගෙන ඇති අතර තවදුරටත් අතුරුදන් සංඛ්‍යාව 18ක් පොලිසිය සඳහන් කළේය. ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම ප්‍රදේශයට නායයෑමට පෙර අනතුරු ඇඟවීම් කළ ද නාය ගිය ස්ථානයට අදාළව අනතුරු ඇඟවීමක් නොකළ බවයි.

“මෙතනින් එහාට අනතුරු ඇඟවලා තිබ්බේ. අපිත් ඇවිත් කිව්වා අයින් වෙන්න කියලා. ඒත් මේ නායගියපු තැන අවදානම් කියලා අපිට තොරතුරු තිබ්බේ නෑ.” රාජ්‍ය නිලධාරියෙක් සඳහන් කළේය. එම ගම්මානයේ කොටසකට පූර්ව අනතුරු ඇගවීම් සිදු කර තිබුණේ අධික වර්ෂාපතනය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයකින් පසුවය.

Kandy Landslide 2
ගම්පොළ

“නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි තත්ත්වය අද (නොවැම්බර් මස 25) උදෑසන වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත.

ගොඩබිම ප්‍රදේශය සඳහා – මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. නැගෙනහිර, මධ්‍යම සබරගමුව ඌව සහ දකුණු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මි.100ට වැඩි තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

Kandy Landslide 4
Kandy Landslide 7
Kandy Landslide 6

කුරුණෑගල- මහනුවර මාර්ගය ගලගෙදර ප්‍රදේශයේදී කැඩී ගොස් පස් කඳු කඩා වැටී තිබූ ආකාරය

නොවැම්බර් 25 සිට නොවැම්බර් 29 දක්වා ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය පතන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.”

ඒ 2025 නොවැම්බර් 25 වැනිදා පෙරවරු 10.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයකි. එම නිවේදනයෙන් පසු අනතුරුදායක තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළ අතර ඇතැම් ප්‍රදේශවල අවදානම් ස්ථානවල සිටින පිරිස් වෙත ඉවත්වන ලෙස දැනුම්දී තිබිණි. කෙසේ වෙතත් තවත් ප්‍රදේශවල එවැනි දැනුම්දීමක් කර තිබුණේ නැත. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදු වූ විශාලතම නායයෑම් දෙකක් වූ 2014 වසරේ මීරියබැද්ද නායයෑම සහ 2016 දී අරණායක රාමසර කන්ද නායයෑමෙන් පසු ශ්‍රී ලංකාවේ කඳු ආශ්‍රිතව අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් ගැන නිරන්තර කතාබහක් මතු වුවද සිදුවීමෙන් සති කිහිපයක් යද්දී ඒ කතාබහ තුනීවී ගියේය. අරණායක රාමසර කන්ද සහ තවත් ස්ථාන කිහිපයක් 2016 දී නායයෑමට ලක්වූ අතර එම නායයෑම්වලින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පූර්ණ හානි වූ නිවාස ගණන 230ක් විය. අර්ධ හානි වූ නිවාස ගණන 1845ක් විය.

Kandy Landslide 5
අඹතැන්නේ කඩ සාප්පු පිරිසිදු කරමින්

කෙසේ වෙතත් එම නායයෑම්වලින් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හරහා දිවයිනේ නායයෑම් අධි අවදානම් ප්‍රදේශ හඳුනා ගැනීම හා හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් එම ස්ථානවලින් ඉවත් කර නැවත පදිංචි කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තොරතුරුවලට අනුව 2017 වසරේ දී පවුල් 14,860ක් අධිඅවදානම් ප්‍රදේශවල ජීවත් වන බව හඳුනාගෙන තිබිණි. 2019 වසර වන විටත් නිසි පරිදි අදාළ පවුල් නැවත පදිංචි කිරීමක් සිදුනොවූයෙන් එම පවුල් සංඛ්‍යාව 15,025 දක්වා වර්ධනය විය. මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වූ පවුල් සංඛ්‍යාව 2019 වන විට පවුල් 1478ක් විය. කෙසේ වෙතත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ 2024 වසරේ වාර්ෂික වාර්තාවේ නායයෑම් අනතුරු අවම කිරීමට අදාළව ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් ගැන සඳහන් කර තිබේ. එම වාර්තාවේ මෙසේ ද සඳහන් විය.

“ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විදේශීය පරිත්‍යාගශීලීන් සහ සංවර්ධන නියෝජිතායතන සමග සහයෝගීතාවයෙන් උපායමාර්ගික ප්‍රදාන අවස්ථා සක්‍රීයව අනුගමනය කර ඇත. අවම කිරීමේ පියවර ව්‍යාපෘතිය (RLVMMP) මගින් නායයෑමේ අවදානම අවම කිරීම යනු ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සහ ශ්‍රී ලංකා රජයේ (GOSL) මූල්‍ය දායකත්වයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනට ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘතියකි. 2024 දී, මෙම ව්‍යාපෘතිය නාය යෑම් අවම කිරීමේ ක්‍රියාමාර්ග රැසක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇත. නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශවල පාසල්, රෝහල් සහ දුම්රිය මාර්ග සහ මාර්ග ජාල ආශ්‍රිත අස්ථායී බෑවුම් ස්ථාවර කිරීමේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2026 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, නායයෑම් අවදානම් කලාපවල ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් වැඩි දියුණු කරයි.”

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ 2024 වාර්තාවේ එසේ සඳහන් වුවද 2026 ලබන්නට මාසයක් පිරෙද්දී නායයෑමෙන් රටේ මාර්ග ගණනාවක් අවහිර වූ අතර එම අවහිරය කොතෙක්ද යත් නායයෑම්වලින් සතියක් ගියත් තවමත් ළඟා වීමට නොහැකි වූ ප්‍රදේශ කිහිපයක්ම තිබේ. අවසානයේ ගම්පිටින් භූමදානය වන්නටත්, ගම් පිටින් හුදකලා වන්නටත් සිදුවිය.

නායයෑම් ගැන 2020 වසරේ දී විශේෂ විගණනයක්

Kandy Landslide 12

නාය ගිය රඹුකේඇල ගමට යන පාර

Kandy Landslide 10
Kandy Landslide 11

නායයෑමේ අනතුරු අවම කිරීමේ ව්‍යාපෘතියක මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රගතිය සම්බන්ධයෙන් 2020 වසරේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විගණනයක් සිදු කළේය. එහිදී මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු රැසක් පෙන්වා දී තිබිණි. එම විගණන හෙළිදරව්වෙන් වසර පහක් යද්දී ඇතිවූ ආපදාවලින් වැඩිම හානිය සිදුවූයේ මහනුවර දිස්ත්‍රික්කයට වීම විශේෂත්වයකි. එය කොතෙක්ද කියතොත් ඇතැම් ප්‍රදේශවල මිය ගිය හෝ අතුරුදන්වූවන් වෙනුවෙන් හඬා වැටීමටවත් ඥාතියකු නැති තරමට අහල පහල සියලු දෙනාටම පස්කන්දක් යට නිදන්නට සිදුවී තිබිණි.

එම විගණනයේ එක් ප්‍රධාන නිරීක්ෂණයක් මෙසේය.

“උවදුරු සිතියම්කරණයට අමතරව ස්ථානීය පරීක්ෂාවන් සිදුකර එම ස්ථානයේ නායයෑම් අවදානම් මට්ටම අධි, මධ්‍යම හා අවම ලෙස දක්වමින් තනි පුද්ගලයින් වෙත හෝ පුද්ගල කණ්ඩායම් වෙත මූලික භූ සමීක්ෂණ වාර්තා මගින් දැනුම්දීම සිදුකර තිබුණද අධි අවදානම් කලාපවල ජීවත්වන පුද්ගලයින් එකී නිර්දේශ පිළිබඳ අවධානයෙන් සලකා බලා නොතිබුණු අවස්ථා පැවතුණි.”

මෙම ප්‍රදේශවල බොහෝ දෙනකුගේ ජීවනෝපාය සකස්වී ඇත්තේ එම ප්‍රදේශවලම වැවිලි කර්මාන්තය ආශ්‍රිතව හෝ වෙනත් ක්‍රියාකාරකම් ආශ්‍රිතවය. එසේ හෙයින් ඔවුන්ට අදාළ ස්ථානවලින් එකවර ඉවත්වී යෑමට හැකියාවක් නැතිවී තිබිණි. අධි අවදානම් ලෙස හඳුනාගෙන අනතුරු ඇඟවීම් කර තිබුණ ද ඉවත්වී නොගිය කිහිප දෙනකුම ප්‍රකාශ කළේ තමන් සිටින්නේ අවදානම් ස්ථානයක බව කීවද, එම ස්ථානයෙන් ඉවත්වී යෑමට ඉඩමක් නිවසක් ලබා නුදුන් බවයි. තවත් සමහරු ප්‍රකාශ කළේ වෙනත් ප්‍රදේශයකට ගියහොත් තමන්ගේ ඉපයීමේ මාර්ගය සම්පූර්ණයෙන්ම අහිමි වන බවයි.

අනතුරට කලින් ඉවත් වූ රඹුකේඇල ගම්වැසියෝ

Kandy Landslide 8

රඹුකේඇල නායයෑමේ අවසන් පහළම කොටස

නිවසක, ගෙදරක ජීවත්වන්නටත් සහ එලෙස ජීවත්වන්නට රස්සාවක් කරන්නටත් ජීවත් වී සිටිය යුතුය. එදා දැඩි වර්ෂාව හේතුවෙන් අලවතුගොඩ රඹුකේඇල කිහිප දෙනකු එදින රාත්‍රියට පෙරම නිවාසවලින් පිටමං වී තිබිණි. එම නිසා ඔවුන්ගේ නිවාස අහිමි වුවද ජීවිතය ගැලවිණි. රජයෙන් දෙන නිවසක හෝ වෙනත් පාර්ශ්වවලින් දෙන නිවසක හෝ ජීවත්වීමට අවස්ථාව ඔවුනට හිමිවිය.

“මේ අවට ගෙවල්වලට අයින් වෙන්න කියලා අනතුරු අඟවලා තිබුණා. නායට අහුවුණු ගෙවල් කිහිපයකටත් අනතුරු අඟවලා තිබුණා. අපේ ගෙවලුත් උඩ. ඒත් අපි කලින්ම ගෙදරින් ගිහින් පහළ නෑදෑ ගෙදරක හිටියේ.” යැයි නිවාසයක් අහිමිවූ පුද්ගලයෙක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසලදී ප්‍රකාශ කළේය. ග්‍රාමනිලධාරී කාර්යාලයත්, ඒ ළඟ ඇති මුස්ලිම් පල්ලියත්, පාසලත් ඉතිරිව තිබුණ ද එතැනින් අඩි කිහිපයක් එහායින් තිබූ සියලු දෑ නායට හසුවී තිබෙනු දක්නට ලැබිණි.

Kandy Landslide 9

රඹුකේඇල මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ බොහෝ ස්ථානවල ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ කරුණු සහ අප නිරීක්ෂණය කළ දෑ බොහෝය. එයින් වැදගත්ම කාරණය වන්නේ පුරවැසියන්ගේ ජීවිත ගැන වගකීමක් රාජ්‍යයට තිබේ. මෙවැනි අවදානම් තත්ත්වයන් කලින් දැනුම්දීම එම වගකීමේ කොටසකි. එසේම එම දැනුම්දීම් අනුව ඉවත් නොවන පිරිස් බලහත්කාරයෙන් ඉවත් කරවීම ද රාජ්‍යයේ වගකීමකි. ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එලෙස එක්තරා ස්වාමීන්වහන්සේ නමක් බලහත්කාරයෙන් ඉවත් කර තිබුණු අතර එලෙස ඉවත් කර පැය කිහිපයකින් ස්වාමීන්වහන්සේ වැඩ සිටි විහාරස්ථානයට හානි සිදුවිය.

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල ආපදා සිදුවී ඇති හෙයින් සියලුම රාජ්‍ය නිලධාරීන් පාහේ සිටින්නේ අධික කාර්යබහුල තත්ත්වයකය. කෙසේ වෙතත් දැවැන්ත නායයෑම් සිදුවී දින කිහිපයක් යන්නටත් මත්තෙන් අධි අවදානමක් සහිත නිවාසවලට ඇතැම් ජනතාව ගොස් හමාරය. එලෙස පවුලක් සිටි නිවසක් මැදින් වතුර ගලා එමින් තිබිණි. පස්කන්ද නිවස පිටුපස බිත්තියට හේත්තු වී තිබිණි. එහෙත් ඔවුහු නිවසටම වී සිටියහ. ඒ ගැන විමසීමේදී ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ මෙයයි.

“අපි හදාගත්තු ගෙදර. අපිට වෙන යන්න තැනක් නෑ. මිනිස්සු නැවතිලා ඉන්න තැන අපේ ළමයින්ට ටොයිලට් යන්නවත් නෑ.” කාන්තාවක් කීවාය.

මේ බොහෝ ප්‍රදේශවල ග්‍රාමනිලධාරීන් දැඩි කාර්ය බහුලත්වයකට පත්ව ඇති හෙයින් ප්‍රදේශයේ ආපදාවට ලක් නොවූ එහෙත් අධිඅවදානමක් සහිත ප්‍රදේශවලට ගොස් නොතිබිණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි මෝසම සක්‍රීය වෙමින් පවතී. එවැනි තත්ත්වයක සුළු වර්ෂාපතනයකින් පවා නායයෑම් ඇතිවිය හැකි ස්ථාන තිබේ. මේ මොහොතේ අදාළ බලධාරීන්ගේ ප්‍රධානම වගකීමක් විය යුත්තේ වහාම ආරක්ෂක අංශ හෝ සම්බන්ධ කරගෙන අධිඅවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවූවන් කඩිනමින් ඉවත් කිරීමය.

අපේ මාධ්‍ය කණ්ඩායම ගිය එක්තරා ප්‍රදේශයක අවතැන්වූවන් සිටි තැනක් පිහිටා තිබුණේ ද ඉරිතලා ගිය අවදානම් ප්‍රදේශයකය. එසේ හෙයින් ඒ සියල්ල ගැන බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතුය.

මෙම ලිපිය ලියා අවසන් කරන අවස්ථාව වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ ආපදාවලින් සමස්ත දිවයිනේම 479ක් මරණයට පත්වී තවත් 350ක් තවමත් අතුරුදන්ව ඇති බවයි. නිවාස 1289කට පූර්ණ හානි සිදුවී ඇති බවත්, නිවාස 44,556කට බරපතල හානි සිදුවී ඇති බවත්, ආරක්ෂිත ස්ථාන 1347ක පුද්ගලයන් 188,974ක් රඳවා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. මෙම මරණ අතුරෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් 118ක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. මහනුවර දිස්ත්‍රික්කයේ අතුරුදන් ගණන 171ක් වන අතර නිවාස 176කට පූර්ණ හානි සහ නිවාස 2539කට අර්ධ හානි සිදුවී තිබේ. මහනුවර දිස්ත්‍රක්කයේ ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින සංඛ්‍යාව 20,064කි.

ආපදාවලින් මහනුවරට සිදුවී ඇති හානිය ගැන වචනවලින් නොව ඡායාරූපවලින් ඔබට අවබෝධ වනු ඇත. ආපදාවට ලක්වූවන්ගේ කඳුළු කතාව තරිඳු උඩුවරගෙදරගේ ලිපියේ ඇත. ඊළඟ කතාව පටන් ගන්නේ ආපදාවලින් සතියකට පසු බොහෝ දෙනකුට ආපදා තත්ත්වය අමතක වීමෙන් පසුවය.

තරිඳු ජයවර්ධන
(ඡායාරූප තරිඳු)
දිවයින ඉරිදා සංග්‍රහයෙනි