වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් හිමි විය යුතුය යන්න අප රජයේ ස්ථාවරයයි. දැනට ගෙවනු ලබන දෛනික අවම වැටුප වන රුපියල් 1,350/- 2026 ජනවාරි මස සිට රුපියල් 1,750/- දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. එහිදී, රුපියල් 1,550 ක වැටුපක් වතු සමාගම විසින් ද, රුපියල් 200.00 ක සහන දීමනාවක් රජය විසින් ද දෛනිකව ගෙවනු ලබනවා. මෙම රුපියල් 200.00 දායකත්වයට අමතරව තවත් රුපියල් 30.00 ක්, දෛනිකව, එම රුපියල් 200.00 ට අදාල සේවක අර්ථ සාධක අරමුදලේ දායක මුදල වශයෙන් ගෙවීමට නියමිතයි. ඒ අනුව සෑම වතු කම්කරුවෙක් ම දෛනිකව රුපියල් 1,750.00 ක ආදායමකට හිමිකම් කියනවා.
මෙම යෝජනාව සඳහා රු. මිලියන 7,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
එබැවින්, වතු කම්කරුවන්ගේ සැබෑ ආර්ථික අවශ්‍යතාවය සපුරාලීමට නම්, මෙම රුපියල් 1,750/- ක දෛනික වැටුප කඩිනමින් ලබා දිය යුතු බවට අපගේ ස්ථාවරයයි. කෙසේවුවද, නිසි අයෝජන වැඩපිළිවෙළකට අනුගත වීම හරහා දීර්ඝකාලීනව අදාළ ප්‍රතිලාභ හිමිවනුයේ වතු සමාගම්වලට වන බැවින්, වතු හිමියන් රජය විසින් ගත් මෙම ක්‍රියාදාමයට ධනාත්මකව ප්‍රතිචාර දක්වනු ඇති බවට මා විශ්වාස කරනවා.
ඒ අනුව, වතු හිමිකරුවන් විසින් අදාළ වැටුප් පරතරය ගෙවීම සඳහා සූදානම් වන තෙක් පමණක් තාවකාලිකව එම පරතරය පියවීමට රජය හා වතු හිමිකරුවන්ගේ ද දායකත්වය සහිතව රුපියල් 400 ක වැටුප් හිඟය පියවීමේ දීමනාවක් ලබාදීමට යෝජනා කරනු ලබනවා. ඒයින් සේවක අර්ථසාධක සහ සේවා නියුක්ති භාරකාර අරමුදල් සඳහා වන දායකත්වයද සහිතව රු. 230 ක් රජය විසින් වසරක කාලයක් දරා ගැනීමට කටයුතු කරනවා.තවද, රජයට අයත් වතු අතුරින් දැනට නිසිපරිදි ආයෝජන සඳහා භාවිතා කර නොමැති වතු ඉදිරියේදී නිසි ආයෝජන වැඩපිළිවෙළකට යොමුකිරිමට අපේක්ෂා කරන අතර වතු සේවකයින් සඳහා සාධාරණ වැටුපක් ගෙවන වතු හිමියන්ට ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරනවා.
අයවැය 2026

අප්‍රිකාවේ රටවල කොකෝවා වගා කරන ගොවියන්ට එයින් නිපදවන චොක්ලට් හා සමාන රසවත් ජීවන තත්ත්වයක් නැත. වියදම ආවරණය කරගැනීම සඳහා දරුවන්ගේ ශ්‍රමය කොකෝවා වේලන්නට ලාබයට ප්‍රයෝජනයට ගනිමින් සිටී. යුරෝපයේ ඇතැම් රටවල් ළමා ශ්‍රමය භාවිත කර නිපදවන චොක්ලට් මිලදී ගැනීම වර්ජනය කර තිබේ. එම රටවලට යවන නිෂ්පාදනවල එම ළමා ශ්‍රමය භාවිත කර නැති බවට සඳහන ඇතුළත්ය.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තේ වතුවල වැඩ කරන කම්කරුවන්ට ඉතාම අඩු වැටුප් ලැබෙන බව සමාජ පර්යේෂණයකින් අනාවරණය කර තිබුණි. රසවත් තේ නිපදවන නමුත් ඔවුන්ගේ ජීවිත නීරස බව එහිදී ප්‍රකාශ විය. ශ්‍රී ලංකාවේ තේ කම්කරුවන් ලබන වැටුපටද අඩු වැටුපක් ඇසෑම් කම්කරුවන් ලබන අතර ඔවුන්ගේ ජීවිත ඉතාමත් අසරණය. කෙසේ වෙතත් ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ පැවැත්ම ගැන කම්පාවෙන් ගත් තීන්දුවක් අනුව යොදාගෙන වතු නිවාස දස දහසකට ආධාර කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් අග ඉන්දියාවේ මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාම් ශ්‍රී ලංකාවේ වතුකරයේ ද සංචාරයක නිරත වූ අතර ඇය වතුකරයේ ජනතාව විඳින දුක ගැන කනස්සල්ලට පත් වූවාය.
ලෝකයේ සෑම රටකම පාහේ කෘෂි අංශයේ ලාබ අඩුවෙමින් පවතී. වියදම පාලනය කරනු සඳහා ශ්‍රමයට ගෙවීම අඩුය. ලෝක වෙළෙඳ සංවිධානයේ වාර්තාවකට අනුව 1970 දී සේවා අංශය ලෝක ආර්ථිකයෙහි සියයට 53 ක කොටසක් අත්පත් කරගෙන සිටි අතර 2021 වන විට එය සියයට 67ක් දක්වා ආවරණය කරගෙන ඇත. ප්‍රසාරණය වී ඇති කොටස කෘෂි අංශයෙන් ලබාගෙන ඇත. මෙහි තවත් විශේෂත්වයක් තිබේ. ඉහළ ආදායම් සහිත රටවල් සේවා අංශයෙහි වැඩි පරිමාවක් උසුලන අතර දුප්පත් හා පහළ මැදි ආදායම් රටවලට කෘෂි නිෂ්පාදන අංශයේ වගකීම පැවරී ඇති බව එම වාර්තාව දක්වයි. කෘෂිකර්මය ඉහළ ලාබ සහිත නිෂ්පාදන අංශයක් නොවන බව පෙන්නුම් කරන අතර සේවා සම්පාදනය ඉහළම වාසි සහිත අංශය බවට දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය අනුව සේවා අංශය සියයට 59.6 කි. කෘෂි අංශය සියයට 8.3 දක්වා අඩු වී ඇත.
I දුර්වල වතු කළමනාකරණය හා වැටුප් ප්‍රශ්න
ලක්ෂ ගණනක් සේවය කරන වැවිලි වතු කළමනාකරණය ඉතාම දුර්වලය. පෞද්ගලික අංශයේ කුඩා තේ වතු, රබර් හා පොල් ඉඩම් වඩා ඵලදායීව පවත්වාගෙන යයි. වැඩිම නිෂ්පාදනයක් කුඩා තේ වතු අංශයෙන් ලැබෙන බව වාර්තා සනාථ කරන කරුණකි. කෙසේ නමුත් පෞද්ගලික අංශයට බදු දී ඇති වැවිලි වතුවල තත්ත්වය ප්‍රගතියක නැත. විශාල ඉඩම් ප්‍රමාණයක් තේ සහ රබර් වගා වෙනුවෙන් වෙන් කර තිබේ. ඇතැම් සමාගම් තේ හා රබර් වගාව ගලවා ඉවත් කර පාම් ඔයිල් වගාව ද ව්‍යාප්ත කරමින් සිටී. පරිසර අංශවලින් එයට විරෝධයක් පැන නැගුණු අතර තාවකාලිකව නතර කර ඇත. වතු සමාගම්වල දියුණුවක් නැති හේතුව පදනම් කරගෙන රටට ලැබෙන විනිමය ප්‍රමාණය ද සීමිත වී ඇත. තේ සහ රබර් ප්‍රධාන විනිමය උපයන අපනයන බෝග වශයෙන් තිබුණි. එහි නිරත ශ්‍රම බලකාය සැලකිය යුතු නමුත් අද වන විට රටට උපයා දෙන විනිමය ප්‍රමාණය සීමිතය. එය කාර්යක්ෂමතාව ගැන ප්‍රශ්නයකි. මෙරට වැවිලි අංශය ගැන සම්පූර්ණ සමාලෝචනයකට යා යුතු අතර අලුත් ප්‍රතිපත්ති කෙරෙහි අනුගත විය යුතුව තිබේ.

වතු කම්කරුවන්ට රුපියල් දහසක අවම වේතනයක් ගෙවීම ප්‍රශ්නයක් බව ඉකුත් වැටුප් සංශෝධනයේ දී ප්‍රකාශ වූ අතර අද සිදුවන වැටුප් වැඩි කිරීමේදී ද දිනකට රුපියල් එක්දහස් හත්සියයක් ගෙවන්නට නොහැකි බව දක්වමින් සිටී. හොඳ ආදායමක් ලැබෙන පරිදි සංවර්ධනය කළහොත් වැවිලි සමාගම් වතුවලින් ආදායම් උත්පාදනය කර කම්කරුවන්ට වැටුප් වැඩිපුර ගෙවිය හැක. නමුත් ඇතැම් වතු වෘත්තීය සමිති දක්වන පරිදි මෙම වතු තාවකාලිකව බදු ගෙන ඇති සමාගම් ඒවායේ සම්පත් ප්‍රයෝජනයට ගන්නා අතර ගස් කපා දමමින් ගල් හා පස් ඉවත් කරමින් අනිසි ආදායම් ලබන අතර වතු සංවර්ධනයට කටයුතු කරන්නේ නැත.
ශ්‍රී ලංකාවේ වැවිලි සමාගම්වල කටයුතු හා ඒවායේ ප්‍රගතිය ගැන ස්වාධීන පර් යේෂණයක් කළ යුතුව තිබේ. පරිපාලන ක්‍රමවේද ගැන අධ්‍යයනයක් කරන්නට අවශ්‍යය. රජයේ වැවිලි සමාගම්වල අසාර්ථකභාවය පදනම් කරගෙන අනූනම අවුරුද්දකට බදු දී ඇති නමුත් මේවායේ අභිවෘද්ධියත් වැඩ කරන කම්කරුවන්ගේ ජීවන තත්ත්වයත් සාධාරණ ලෙස සලකා බැලීම සුදුසුය.
I සාමූහික එකඟතාව
වතු කම්කරු සේවක ප්‍රශ්නවලට වසර දෙසියයක ඉතිහාසයක් තිබේ. ඉන්දියාවෙන් කැටුව පැමිණි ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට සාධකයක් වූ නමුත් සමාජ ගැටලුවක් විය. ඉන්දියානු දෙමළ ජනතාව සහ ඔවුන්ගේ පුරවැසිභාවය සිරිමා ශ්‍රාස්ත්‍රී ගිවිසුමෙන් යම් පමණකට විසඳුණු නමුත් වැටුප් ප්‍රශ්න සම්බන්ධයෙන් වූ ගැටලුවල අවසානයක් නැත.

වැටුප් ප්‍රශ්න දිගින් දිගටම ඇවිලෙන අවස්ථාවේදී එයට විසඳුමක් වශයෙන් සාමූහික ගිවිසුමක් අත්සන් කළේය. එය 1992 වසරේ සිදුවූ එකඟතාවයකි. හාම්පුතුන් හා වෘත්තීය සමිති එකඟතාවයෙන් මූල්‍ය තත්ත්වය පරිදි වැටුප් වැඩි කරන්නට උත්සාහ කරන අතර එසේ වැටුප් ගෙවීමට සරිලන ආදායමක් සමාගම්වල පවතීද යන්න සාකච්ඡා කිරීම මෙහිදී එකඟතාවයකට ගැනිණ. අඩු මට්ටමක තිබුණු වැටුප් 2016 වසර වන විට ක්‍රමයෙන් වැඩි කරන ලද අතර දෛනික වැටුප රු. 800.00 දක්වා කැඳවන ලද අතර එය මූලික වැටුප හා දිරිගැන්වීමේ දීමනාවල එකතුවකි.
වතු හාම්පුතුන් පෙන්වා දෙන අන්දමට ආසියානු සංවර්ධන බැංකු ආධාර ඇතිව වතු නිවාස දියුණු කර විදුලිය, ජලය හා පාසල් නවීකරණය කරන ලද අතර වතු රෝහල් පද්ධතියක් ද තිබේ. මේවායේ පිරිවැය ද වතු කම්කරුවන් ලබන ප්‍රතිලාභ අතර ඇත. එය අනෙක් ක්ෂේත්‍රවල කම්කරුවන්ට නොලැබෙන වරප්‍රසාදයකි. වතු සමාගම්වල සේවය කරන ඉන්දියානු දෙමළ සම්භවයක් සහිත, එහෙත් මෙරට පුරවැසියෝ සමාගම්වල ස්ථිර සේවකයෝ වෙති. සියලු පහසුකම් සපයන අතර වතු කළමනාකරුවන් දක්වන පරිදි සමහර කම්කරුවෝ එම පහසුකම් භුක්ති විඳිමින් වත්තේ සේවයට නොපැමිණ වෙනත් රුකීරක්ෂාවල නිරත වෙති. විශේෂයෙන් පවුලේ අයකු වත්තේ වැඩ කරන අතර අනෙක් සියලුම දෙනා ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍රවලට ප්‍රවේශ වී සිටිති. වතුවල සේවය සඳහා ශ්‍රමය හිඟ වීමටද බලපා ඇත. එය වතු සමාගම්වල දෛනික ශ්‍රම අවශ්‍යතා සපුරාගත නොහැකි තැනට තල්ලු කිරීමකි. වතු කම්කරුවන්ගේ නිසි සේවය නොලැබීම හා වගා නඩත්තු පිරිවැය සෑහෙන ප්‍රශ්න ඇති කළේය.
I වතු කළමනාකරණ වියදම් ඉහළ නැගීම
වතු සමාගම්වලට අනුව දිනකට රු. එක්දහස් හත්සියයක වැටුප මත අතිකාල දීමනා, අර්ථසාධක අරමුදල් හා ගැටිවිටි වෙනුවෙන් සෑහෙන පිරිවැයක් කරන්නට අලුතින් සිදුවෙයි. එය අවුරුද්දකට රු. බිලියන දහයකට වැඩි මුදලක් බව තක්සේරු කර ඇත. මෙම ධනය වැවිලි කර්මාන්තය තුළ අලුතින් බිහි කරන සැලසුමක් අවශ්‍යය. නැතහොත් වතු වගා අංශය පිරිහීම වැළැක්විය නොහැක.
සාරා කන්දෙගොඩ