ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සැපයූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට චෝදනා ගොනු කර ඇති නඩුව සඳහා රුපියල් 2,550,000ක් වැය කර ඇතැයි නීතිඥ හරේන්ද්‍ර කාරියවසම් මහතා ඊයේ (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දැනුම් දුන්නේය.
මෙහි එක් වෙළුමක් සඳහා රුපියල් 150,000ක් වැය කර ඇති බවත් මෙවැනි වෙළුම් 17ක් සකස් කර ඇති බවත් නීතිඥවරයා දන්වා සිටියේය.
එක් වෙළුමක පිටු 10,000කට ආසන්න ප්‍රමාණයක් ඇති බව ද නීතිඥවරයා කියා සිටියේය.
නීතිඥවරයා මේ බව කියා සිටියේ එම නඩුවේ සැකකරුවෙක් වන ඖෂධ නිෂ්පාදනය කළ බව කියන සුදත් ජානක ප්‍රනාන්දු සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම්පතක් කැඳවූ අවස්ථාවේදීය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන අය මෙම නඩුවේ සැකකරුවන් වන අතර ඔවුන් ඇප මත මුදා හැර ඇත.