අතිශය රහසිගත ලෙස කොළඹ වරායට පැමිණ තිබූ මෙම කන්ටේනර් හතර මුල්කර ගෙන මේ වනවිට බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එම ගැටලුව ජනාධිපතිවරයා දක්වාම මේ වනවිට ගොස් ඇති බවත් වාර්තා වෙනවා.
පසුගිය ජූලි මාසයේ 14 වැනිදා ලයිබීරියා රජය යටතේ කන්ටේනර් බහාලුම් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර, එය සී.අයි.සී.ටී. පර්යන්තයේ නැවැත්වීමට කටයුතු කොට ඇති අතර ජූලි 15 වැනිදා මෙම ප්‍රශ්නගත කන්ටේනර් බහාලුම් හතර ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායේ ජේ.සී.ටී. පර්යන්තය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇතිබව කියවෙනවා. එහිදී සැලසුම වී තිබී ඇත්තේ අගෝස්තු මස 05 වැනිදා මෙම ප්‍රශ්නගත බහාලුම් හතර ලයිබීරියාවටම අයත් නැවකට පැටවීමට බවයි වාර්තා වෙන්නේ.
නමුත් හිටිහැටියේම ලංකාවේ වගකිව යුතු අංශ වෙත ලැබුණු බුද්ධි තොරතුරකින් කියැවී ඇත්තේ මෙම කන්ටේනර් බහාලුම් හතර තුළ යේමනයේ හූති ගරිල්ලන් විසින් පවත්වාගෙන යනු ලබන යුද්ධයට අවශ්‍ය සැපයුම් විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගතව ඇති බවයි.
බොහෝ දෙනා මේ වනවිට සැක පළකරන්නේ අදාළ කන්ටේනර් බහාලුම් හතර සම්බන්ධයෙන් වූ රහස් ඔත්තුව ඇමෙරිකාවට සම්බන්ධ ඔත්තු සේවාවකින් ලැබී ඇති බවටයි. ඊට හේතු වී ඇත්තේ යේමනයේ හූති ගරිල්ලන්ට, ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා චීනය විසින් හූති ගරිල්ලන්ට අවශ්‍ය සැපයුම් ලබාදෙන බවට චෝදනාවක් එල්ල වී තිබීමත්, අදාළ කන්ටේනර් බහාලුම් හතර චීනයට අයත් නෞකා සමාගමක් හරහා පැමිණ ඇති බවට සැකපල වී තිබීමත් බව කියවෙනවා.
ඒ අනුව හම්බන්තොට පිරිපහදුව මුල් කරගෙන මේ වනවිට ලංකාව ඇතුළේ ගොඩනැගෙමින් පවතින චීන – ඇමෙරිකා යුද්ධයට අමතරව කොළඹ වරායේ දැනටමත් නවතා තිබෙන මෙම ප්‍රශ්නගත කන්ටේනර් බහාලුම් හතර මුල් කරගෙනද මේ වනවිට චීන – ඇමෙරිකානු යුද්ධයක් ආරම්භ වී ඇති බවක් දැකගන්නට තිබෙනවා.