රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය විසින් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායකට එරෙහිව පවරන ලද නඩුවේ වගඋත්තරකරුවන් ඊයේ (28දා) කොළඹ දිසා අධිකරණය ඉදිරියේ උත්තර ගොනු කළේය.
වගඋත්තරකරුවන්ට පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අවසන් කැඳවීම් දිනය ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා ඊයේ (28දා) නම් කර තිබිණි.
එහිදී වගඋත්තරකාර තිස්ස අත්තනායක කරුණු දක්වමින් අදාළ ප්‍රකාශ සිදු කළේ නුගපිටියේ ධම්මානන්ද නමැති භික්ෂුවක් කර ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන බවත් එය අවිශ්වාස කිරීමට තමන්ට හේතුවක් නොතිබුණු බවත් දක්වා තිබේ.
අදාළ ප්‍රකාශය සමඟි ජන බලවේගයේ ආධාරකරුවන් සඳහා පමණක් දේශපාලන වේදිකාවේ කළ ප්‍රකාශයක් බවත් ඉන් පැමිණිලිකාරියගේ කීර්තිනාමයට හානියක් සිදුව නැති බවත් දක්වා ඇත.
එමෙන්ම ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත්ව ඇති බැවින් තමන්ගේ ප්‍රකාශයෙන් ඇගේ කීර්තිනාමයට හානියක් සිදුව නැති බව වගඋත්තරකරුගේ උත්තරයේ දැක්වේ.
ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත්වුවහොත් ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළේ යැයි තිස්ස අත්තනායක කර තිබෙන ප්‍රකාශයට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා මෙම නඩුව ගොනුකර ඇත. ඉකුත් ජනාධිපතිවරණයට සමඟි ජන බලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා මාවනැල්ලේ පැවැති මහජන රැලියකදී වගඋත්තරකරු 2024 අගෝස්තු 19දා මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
මහනුවර ඇසළ පෙරහර නවත්වන බවට අසත්‍යය හා අපහාසාත්මක තොරතුරක් සමාජගත කිරීමෙන් බෞද්ධ පරිසරයක කුඩා කල සිටම හැදී වැඩුණු සිය සේවාදායිකාවගේ කීර්තිනාමයට බලවත් හානියක් සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. දකුණු ප්‍රදේශයේ බොහෝ විහාරස්ථානවලට ඉඩකඩම් පරිත්‍යාග කළ පවුලකින් පැවත එන සිය සේවාදායිකාව කිසිදු අවස්ථාවක මොනයම් හෝ ආගමකට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කර නොමැති බවත් ලේඛනගත නීතිඥ ශානිකා සිල්වා මහත්මිය ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වේ. වගඋත්තරකාර තිස්ස අත්තනායකට අමතරව ඔහුගේ අදහස හා එය විකාශය කළ පෞද්ගලික මාධ්‍ය නාලිකාවකින් ද රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සම්පත් යාලේවත්ත මහතා පෙනී සිටියේය. පූර්ණ නඩු විභාගය ලබන දෙසැම්බර් 2දා පැවැත්වීමට නියමිතය.