34 දෙනෙකු මියගිය කොලොම්බියාවේ හර්කියුලිස් අනතුර

Hercules C-130

කොලොම්බියාවේ දකුණු ඇමේසන් කලාපයේදී එරට ගුවන් හමුදාවට අයත් හර්කියුලිස් C-130 ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයින් 125 දෙනෙකු රැගෙන පීරු දේශසීමාව අසල පුවර්ටෝ ලෙගුයිසාමෝ ගුවන් තොටුපළෙන් ගුවන් ගත වීමට උත්සාහ කිරීමේදී මෙම යානය අනතුරට පත්ව ඇති බවයි.

ගුවන් යානය යම්කිසි දෙයක ගැටී ඇති අතර, පසුව එහි පියාපතක් ගසක වැදී ගිනිගෙන පුපුරා ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

පුටුමායෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාට අනුව, මේ වන විට මරණ 34ක් තහවුරු කර ඇති අතර පුද්ගලයින් 70 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තවත් 21 දෙනෙකු සුන්බුන් අතර අතුරුදහන් වී ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවනු ලබනවා.

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළ කර ඇති අතර, හමුදාව නවීකරණය කිරීමේ සැලසුම් ප්‍රමාද කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට අවධාරණය කළා.

එමෙන්ම අනතුරට පත් Lockheed Martin සමාගම නිෂ්පාදිත C-130 යානය ඇමරිකාව විසින් මෑතකදී කොලොම්බියාවට ලබාදුන් එකක් බව හඳුනාගෙන තිබෙනවා.

මීට මාසයකට පෙර බොලිවියාවේදී ද මෙවැනිම හර්කියුලිස් යානයක් අනතුරට පත්වීමෙන් 20කට අධික පිරිසක් මිය ගියා.