ඉන්දු – පකිස්තාන තරගය සඳහා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙල මෙන්න

pakistan vs india t20 match

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (15) පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්තාන තරගය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දන්වා සිටින්නේ, එම තරගයේ ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති අතර ක්‍රීඩංගණය අවට රථ වාහන පාලනය සඳහා ද පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා ඇති බවයි.

එමෙන්ම ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා පස්වරු 3.00 සිට සියලු දොරටු විවෘත කර ඇති බව ද එහි සඳහන් වනවා.

මෙම තරගය නරඹන්නට පැමිණෙන සියළුම ක්‍රීඩාලෝලීන් විසින් ක්‍රීඩාංගනය තුළට ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙසත් පානීය ජල අවශ්‍යතාව සඳහා ක්‍රීඩාංගණය තුළ සියලුම පහසුකම් සලසා ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

කිසිදු අයෙකු බීමත්ව හෝ කලහකාරී ලෙස හෝ අශෝභන ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව තදින්ම නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද එහිදී අවධාරණය කර තිබෙනවා.

ඊට අමතරව විශාල ගමන් මලු, හෙල්මට්, ජැකට්, මත්පැන් හා සංගීත භාණ්ඩ කිසිවක් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමෙන් වැළකිය යුතු බවත්, ඩ්‍රෝන උපකරණ, පිහි වැනි උපකරණ, ඉලෙක්ට්‍රොනික් අයිතමයන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමට අවසර හිමි නොවන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

කෙත්තාරාම මාවත හංදියෙන් සහ විල්සන් පෙරේරා මාවතෙන් බ්‍රිට්‍රෝබබා පුල්ලේ හංදියෙන් කිසිදු වාහනයකට ඇතුළත් විය නොහැකි අතර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිකුත් කරපු අවසර පත්‍රයක් මත ඇතුල් වීමට අවසර හිමිව තිබුණා.

එමෙන්ම මහජනතාවගේ පහසුව සදහා රථ ගාල් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එනම් ක්‍රිඩාංගණ භූමිය රථගාල, සතොස රථගාල, සෙබෙස්තියන් ඇළ පාර රථගාල, මැටිපාර්ක් රථගාල, කෝවිල පාර රථගාල හා ඇපල්වත්ත රථගාල මෙන්ම අඩි 100 මාර්ගයේ දෙපස මෙලෙස රථගාල් ලෙස භාවිතා කළ හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මෙහිදී වින්සන්ට් පෙරේරා මාවත, ග්‍රෑන්ඩ්පාස් පාර, බ්‍රිටෝබබා පුල්ලේ මාර්ගය, සෙබස්තියන් ඇල පාර මැල්වත්ත පාලම අසලින් ක්‍රීඩංගනය දෙසට ඇතුළු වීම, අඩි 100 පාර, පන්සල පාර හන්දියෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම, මාළිගාවත්ත පටුමග, ක්‍රීඩාංගනය අසලින් අතුරු මාර්ගයෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම, සද්ධර්ම මාවතපන්සල් පාර (ඛෙත්තාරාම පාර) හන්දියෙන් පන්සල පාරට ඇතුළු මාර්ගයන්වලින් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.