ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (16) පස්වරුවේ මෙරටට පැමිණි අතර ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් දායකත්වයට ස්තූතිය පළ කරමින් දිට්වා වැනි විශාල ආපදා තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේද එම ආර්ථික ස්ථාවරත්වය නිසා බව ජනාධිපතිවරයා පැවසීය.
ආපදා සහන කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හදිසි මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගෙන ඇති බව මෙහිදී සඳහන් කළ කළමනාකාර අධ්‍යක්ෂවරිය රජය විසින් ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ගත් කඩිනම් පියවරත්, අභියෝග හමුවේ සැලසුම් සහගතව යළි නැඟී සිටීමට රජය දක්වන කැපවීමත් ඇගයීමට ලක් කළාය.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත ආර්ථික වර්ධනය වෙනුවෙන් දෙපාර්ශ්වයේ සමීප සහයෝගීතාවද යළි මෙහිදී තහවුරු කෙරිණි.
