රාජ්‍ය සේවය සුදු අලියෙක් ද?

images (1)

මේ මාතෘකාව වසර ගණනාවක් තිස්සේ අපේ රට තුළ සාකච්ඡාවට ගනිමින් තිබෙන්නකි. රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති සේවකයන් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද ඒ සඳහා විශාල වැටුප් බරක් රජයට දැරීමට සිදුව ඇති බවද මේ සාකච්ඡාවල මූලික හරය බවට පත්ව තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලද කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් පෙන්වා දෙමින් සිටී. රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කිරීම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය හෝ වසා දැමීම, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන යෝජනා අතර වේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගන්නා විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පෙන්නා දෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට නතු වෙමින් ආණ්ඩුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට හා වසාදැමීමට සූදානම් වන බවයි.

ඇත්තටම මොකක්ද වෙන්නේ?

ජනාධිපතිවරයා පසුගියදා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කළ කතාව නිසියාකාරව වටහාගන්නා අයකුට ආණ්ඩුවේ ගමන්මඟ අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බවය. එහෙත් ඒ කෙසේද? රජය පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ වැටුප් පරිමාණයන්ට අනුව 2027 වන විට වැඩි කළ වැටුප් ගෙවීම සඳහා පමණක් අමතර කෝටි 33,000ක මුදලක් වැය වේ. මේ වැඩි කළ වැටුප ගෙවිය යුතු වන්නේ ජනතාවගේ බදු මුදලිනි. එතරම් විශාල මුදලක් ජනතා බදු මුදලින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා වැය කරන්නේ නම් ඊට සරිලන සේවාවක් ජනතාවට ලැබිය යුතුය. එහෙත් දැන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න සලකා බැලිය යුතුව ඇත. ජනාධිපතිවරයාගේ කතාවේ මූලික හරය වූයේ ඒ සඳහා සියලු දෙනාගේම අවධානය යොමු කිරීමටය. ප්‍රශස්ත රාජ්‍ය සේවයක් සඳහා රට පෙළ ගැස්වීමය.

රාජ්‍ය ආයතනවලින් ජනතාවට නිසි සේවය සැලසීමට නම් රාජ්‍ය සේවයේ ඉහළ ස්තරය, මැද ස්තරය සහ පහළ ස්තරය යන ස්තර තුනම නිසියාකාරව සම්පූර්ණ වී තිබිය යුතුය. එහෙත් ඉතිහාසය පුරා දේශපාලනඥයන් විසින් පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම සඳහා තමන්ගේ හිතවතුන්, ඥාතීන් සහ දේශපාලන ගෝල බාලයන්ගෙන් රාජ්‍ය ආයතනවල පහළ ස්තරය ඕනෑවටත් වඩා පුරවා ඇති බව අප කවුරුත් දන්නා රහසකි. බොහෝ රාජ්‍ය ආයතනවල සමස්තයක් ලෙස ගත් විට සේවක අතිරික්තයක් පෙන්නුම් කරන්නේ මේ හේතුව නිසාය. එසේම එය රටට බරක් බවටද සැකයක් නැත.

එය එසේ වෙද්දී මැද ස්තරය නැත හොත් රාජ්‍ය සේවයේ තෘතීයික හා ද්විතීයික මට්ටමේ නිලධාරීන්ගේ එසේත් නැත හොත් වෘත්තිකයන්ගේ ස්තරයේ පවතින්නේ සේවක හිඟයකි. එනම් ඉංජිනේරුවරුන්ගේ, සැලසුම් ශිල්පීන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ, වෛද්‍යවරුන්ගේ හා කළමනාකරුවන්ගේ හිඟයක් සෑම ආයතනයකම පවතී. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකිය. මෙහිදී ප්‍රබලව දැකිය හැකි කාරණාවක් වන්නේ පළාත් පාලන ආයතනවල පවතින තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයයි. පළාත් සභා සහ පළාත් පාලන ආයතන මඟින් රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී එම ආයතනවල පවතින ඉංජිනේරුවරුන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය හානිකර බලපෑම් කරනු ඇත. එසේම රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිඟයද, ජනතාවට මනා සෞඛ්‍ය සේවයක් ලබාදීමේ රජයේ ඉලක්කයට දැඩි බලපෑමක් කරයි. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පෙන්වා දෙන්නේ 2020 වසරෙන් පසු රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම් අත්හිටුවා ඇති බැවින් මේ ගැටලුව මතු වී ඇති බවයි. ඒ අනුව 2026 වසරේදී මේ මැද ස්තරය නියෝජනය කරන සේවක හිඟය පිරවීම සඳහා අලුතින් 70,000කට ආසන්න පිරිසක් බඳවාගැනීම සඳහා අනුමැතිය දී ඇති බවද ඔහු පැවසීය.

එහෙත් පසුගියදා ජනාධිපතිවරයා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රාජ්‍ය සේවයේ මැද ස්තරයේ සේවක හිඟය ගැන කළ ප්‍රකාශයෙන් පසු විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා කාගේ හෝ ලණුවක් කා ඇති බවය. ඒ මැද ස්තරය ඕනෑවටත් වඩා පිරී ඇතැයිද ඔවුහු පවසති.

එහෙත් සත්‍යය කුමක්ද? විගණකාධිපති දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 31 දිනට එක් එක් රාජ්‍ය ආයතන සඳහා නිකුත් කළ විගණකාධිපති වාර්තා විමසා බැලීමේදී ඊට පැහැදිලි පිළිතුරක් ලැබෙනු ඇත. ඒ වාර්තාවලට අනුව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පවතින 173ක් සේවක හිඟයෙන් 124ක්ම තෘතීයික හා ද්විතීයික මට්ටමේය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තෘතීයික මට්ටමේ සිටිය යුතු සේවක සංඛ්‍යාව 82ක් වන අතර, ඉන් 56ක්ම හිඟය. ද්විතීයික මට්ටමේ සිටිය යුතු 1,372න් 328ක්ම හිඟව පවතී. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ මැද ස්තරයේ සිටිය යුතු 1,753ක සේවක සංඛ්‍යාවෙන් 904ක හිඟයක් පවතී. දුම්රිය දෙපාර්තමේන්තුවේ තෘතීයික මට්ටමේ සේවකයන්ගෙන් 85%ක එනම් 383 දෙනෙකුගේද ද්වීතීයික මට්ටමේ සේවකයන්ගෙන් 47%ක් එනම් 5411 දෙනකුගේද හිඟයක් පවතී. විගණන වාර්තා පෙන්වා දෙන පරිදි ඒ අතුරින් ඉංජිනේරුවරුන් 33ක්, අධීක්ෂණ කළමනාකරුවන් හා දිස්ත්‍රික් පරීක්ෂකවරුන් 265ක්, මෙන්න දුම්රිය රියැදුරු තාක්ෂණ නිලධාරීන්, කළමනාකරුවන් සහ ස්ථානාධිපතිවරුන් 3,100ක්ද වෙති. මෙයින් යම් ප්‍රමාණයක් මේ වසරේදී බඳවාගැනීම් සිදු කර ඇති බැවින් යම් සුළු වෙනසක් විය හැකි නමුත් මේ වසර ආරම්භයේදී පැවති තත්ත්වය එසේය. ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින 122ක සේවක හිඟයෙන් 64ක්ම වෛද්‍ය නිලධාරීන්ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවා අංශ 17ට කිසිදු නිලධාරියකු බඳවාගෙන නැති බවද එම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2024 වසරට අදාළව නිකුත් කළ විගණන වාර්තාවට අනුව තනතුරු 279ක් සඳහා 14,853ක සේවක හිඟයක් පවතී. එයින් 14,536ක්ම තනතුරු 58කට අදාළ වේ. තත්ත්වය එසේ වෙද්දි පහළ ස්තරයේ තනතුරු 37ක් සඳහා 936ක සේවක අතිරික්තයක්ද පවතී.

ලෝකය නවීන පරිගණක තාක්ෂණය සමඟ ඩිජිටල්කරණයට ලක්ව ඉදිරියට යද්දී මෙරට රාජ්‍ය සේවය තවමත් භෞතිකව මේස මත ගොඩගසන ලද ෆයිල් ගොඩක් නඩත්තු කරන සේවකයන්ගෙන් යුක්තව පවතී. කිසියම් සේවාවක් ලබාගැනීම සඳහා පුරවැසියෙකුට අදාළ රාජ්‍ය ආයතනය වෙත යාමට සිදුවීම කාලයත් මුදලුත් නාස්ති කිරීමකි. එහෙත් තවමත් මෙරට පුරවැසියන්ට රාජ්‍ය ආයතනවලින් තම කටයුතු කරගැනීම සඳහා වරු ගණන් පෝලිම්වල බලා සිටීමට සිදුව තිබේ. 

shortage of employees

පළාත් සභා පළාත් පාලන ආයතනවල තත්ත්වයද මීට දෙවැනි නැත. ඒ ආයතනවල බරපතළ ලෙසම පවතින ඉංජිනේරුවරුන්ගේ හා තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සංවර්ධන කටයුතුවලට බාධා කරමින් පවතී. සංවර්ධන කමිටු රැස්වීම්වලදී සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනයන්හිදී මෙවැනි වෘත්තිකයන්ගේ හිඟය දැඩිව ඉස්මතු වී පෙනේ.

කිසියම් ආයෝජනයක් කිරීමට සූදානම් වන ව්‍යවසායකයකුට ව්‍යාපෘතිය අනුමත කරගැනීම සඳහා මේ ආකාරයටම ආයතන ගණනාවක සති ගණන්, මාස ගණන් රස්තියාදු වීමට සිදුව තිබේ.

මේ තත්ත්වය තුළ රජය සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් වෙන් කළද ඒවා ඇත්ත මහපොළොවේ යථාර්ථයක් නොවනු ඇත. ඒ අනුව ගත් විට රජය ගන්නා තීන්දුවක්, සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරගන්න බැරි රාජ්‍ය සේවය රටට බරකි.

ජනාධිපතිවරයා පෙන්නා දෙන්නේ මෙය වහා වෙනස් කළ යුතු බවයි. එයින් අදහස් කරන්නේ රාජ්‍ය සේවය හකුළා දැමිය යුතු බව නොවේ. රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බවයි. ඒ සඳහා දැනට හිඟව පවතින වෘත්තිකයන්ගේ, රාජ්‍ය සේවයේ මැද ස්තරයේ හිඟය පිරවිය යුතුය. ජනාධිපතිවරයා පවසන පරිදි ඒ සඳහා වන ප්‍රතිපාදන 2026 අයවැයෙන් වෙන් කර ඇත.

එසේම ක්ෂේත්‍ර රාජකාරිවල නිරත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වාහන දෙදහසක් ආනයනය කිරීමටද ආණ්ඩුව තීරණය කර තිබේ. එපමණක් නොව; සෑම රාජ්‍ය ආයතනයක්ම ලබන වසර තුළ ඩිජිටල්කරණයට ලක් කර අවසන් කිරීමටද රජය බලාපොරොත්තු වේ. රාජ්‍ය ආයතනවල දැනට පවතින යල්පැනගිය පරිගණක වෙනුවට හා තවමත් පරිගණක භාවිත නොකරන රාජ්‍ය ආයතන වෙනුවෙන්ද නවීන තාක්ෂණයෙන් යුතු පරිගණක පද්ධති ලබාදීමටද ඒවා භාවිත කිරීම සඳහා අදාළ සේවකයන්ට පුහුණුව දීමටද රජය බලාපොරොත්තු වේ. මේ මඟින් කාර්යක්ෂම සේවාවක් ජනතාවට සැලසීමට හැකි වනු ඇතැයි රජයේ බලාපොරොත්තුව වේ.

එසේම විවිධ අරමුණු සහිතව, විශේෂයෙන්ම තමන් වෙනුවෙන් වැඩ කළ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දීමටත් මන්ත්‍රීකමක් නොලැබුණු අය වෙනුවෙන් වෙනත් තනතුරු සකස් කර දීමටත් හැකි වන පරිදි පසුගිය කාලය තිස්සේ එක අමාත්‍යාංශයක් යටතේ පවත්වාගෙන යා යුතු රාජ්‍ය ආයතන රැසක් විවිධ නාමකරණයන් යටතේ තව තවත් කොටස් කර නව තනතුරු රැසක් බිහි කර තිබිණි. එහෙත් එලෙස බිහි කළ ඇතැම් ආයතනවලින් කිසිදු සේවයක් රටට සිදු වන්නේ නැත. සමහර අවස්ථාවලදී එකම සේවාව ආයතන ගණනාවකින් සිදු කරනු ලැබේ. මෙයද ජනතා බදු මුදල් නාස්තියක් ලෙස වර්තමානයේදී රජය හඳුනාගෙන ඇත. ඒ නිසා රටට කිසිදු සේවයක් සලසන්නේ නැති ආයතන වසාදැමීමටත් එකම සේවාව සපයන ආයතන කිහිපයම එකට එකතු කර එක් ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමටත් අවශ්‍ය කටයුතු ඉදිරි වසරේදී සිදු කරන බවද ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම සඳහන් කළේය.

මෙමඟින් කුසලතා කේන්ද්‍රීය වෘත්තීයභාවයක් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමෙන් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමේ කාර්යභාරයේ එක් කොටසක් සපුරාගැනීම රජයේ බලාපොරොත්තුව වේ.

මුදිතා දයානන්ද(සිළුමිණ)