වෙනිසියුලාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙමු! – ජවිපෙන් මාධ්‍ය නිවේදනයක්

JVP press release

වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබාගෙන වෙනිසියුලාවෙන් පිටත් කිරීම සඳහා ඇමරිකාව ඊයේ සිය හමුදා යොදවා තිබුණා, මේ පිළිබඳව සිය විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මාධ්‍ය නිවේදනය

ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩා වැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම අපි තරයේ හෙළා දකිමු.

ලොව ඕනෑම නිදහස්, ස්වෛර් රාජ්‍යයක මෙන්ම වෙනි වෙනිසියුලාවේද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, එරට ජනතාවටය. එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැත.

නූතන සමාජයත්, රාජ්‍ය පාලනයත්, වඩාත් ශිෂ්ට සම්පන්න විය යුතු බව පොදු පිළිගැනීමය. ප්‍රජාතන්ත්‍ර වාදය, මානව හිමිකම්, රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ලොවම පිළිගන්නා මූලධර්මයන්ය. කුමන හේතුවක් මත හෝ ඒවා උල්ලංඝනය කරමින්, රට වලට හමුදාමය මැදිහත්වීම් හෝ ආක්‍රමණ සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුළ සාධාරණ වන්නේ නැත.

එවැනි තත්වයක් තුළ එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කළ බලහත්කාර් හමුදාමය මැදිහත් වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන බව අපි දැඩිව විශ්වාස කරමු.

එ බැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනිසියුලාවේ ස්වෛර් පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

608203727 1413955066781174 3507529476738820733 n