වැවක් අතුරුදන් කළ රජරට මිනිස්සු

images (3)

‘වැවාණෝ” යන සජීවී ආමන්ත්‍රණයකින් හැඳින් වූ අපේ මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ වැව් සමූහය අපේ  මුතුන් මිත්තන් එසේ සජීවී වස්තුවක් ලෙස හැඳින් වූයේ  නිකමට නොවේ. ඒ ඔවුන්ට තම ජීවිතය සමඟ ගැට ගැසුණු වැවත් සමඟ සහසම්බන්ධතාවක් පැවැති නිසාය. එහෙත් වසර දහස් ගණනක් පැවැති  එකී ළබැඳියාව යුරෝපීය ආක්‍රමණත් සමඟ අභියෝගයට ලක් විය. ඒ අනුව එවකට පැවැති ගමයි පන්සලයි වැවයි දාගැබයි සංස්කෘතිය ද පරිහානියට ලක් විය. එය කොතෙක්  සිදු වීද යත් ජනයා විසින් වැව් රක්ෂිත පමණක් නොව වැව පවා ආක්‍රමණය කිරීමට තරම් ජන මනස ද සැහැසි කරගත් බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ.

ගමයි පන්සලයි වැවයි දාගැබයි

පසුගිය සමයේ වැව් රක්ෂිත මැනීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කෙරෙන බව පැවැසීමත් සමඟම සමාජයේ එය තරමක් කතාබහට ලක් වූ මාතෘකාවක් විය. එසේ මනිනු ලබන්නේ කුමන වැව් ද යන්න නම් කළ අතර ඒ බොහෝ ප්‍රමාණයක් මහා පරිමාණ වාරි කර්මාන්ත විය. ඒ අනුව අනුරාධපුර නුවර වැව සහ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය යන මහා පරිමාණ වැව් ආරක්ෂිත ආක්‍රමණය පිළිබඳව ඇති වූ කතාබහ තවමත් සමාජයෙන්  මැකී නොමැත. එහෙත් එසේ කතාබහට ලක් නොවුණද අනුරාධපුරයේ කුඩා පරිමාණ වැවක් වසර දහස් ගණනක තම ජීව කාලය අවසන් කර ඉතිහාසයට එකතු වීමට අවසන් ගමන් යනවාදැයි යන සැකය මේ වන විට මතුවෙමින් පවතී. සත්‍ය වශයෙන්ම එසේ වැවේ ජීව කාලය අවසන් වීම ස්වාභාවික තත්ත්වයක් නොවන බව මෙය කියවන ඔබට පැහැදිලි වනු ඇත.

අප මේ කියන්නට යන වැව අනුරාධපුර කුඩා කටුකැලියාව වැවයි. මෙම වැවෙ කුඩා ලෝලුගස්වැව මෙන්ම කුඩා බුලන්කුළම ලෙසද හඳුන්වනු ලැබේ.

අනුරාධපුර අභය වැව මතින් ගොස් බණ්ඩාර බුලන්කුළම වැව් බැම්මට පිවිස එහි සිට වට වන්දනා මාර්ගයේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පැත්තට මීටර් පනහක් ඔබ්බෙන් කුඩා කටුකැලියාව වැව දැකගත හැකිය.

සැබැවින්ම මෙම වචනවලින් හඳුන්වන ආකාරයටම මෙම වැව කුඩා පරිමාණ වැවකි. එහෙත් කුඩා වීම නිසාම මෙම වැව වාරි සිතියම්වලින් ඉවත් කිරීමට රාජ්‍ය නිලධාරීන් හා ඇතැම් අවට පදිංචිකරුවන් කටයුතු කිරීම කිසිසේත්ම යුක්තිසහගත නොවේ.

පැහැදිලිවම කුඩා කටුකැලියාව වැව ඓතිහාසික වැවකි. මෙකී වැව පෝෂණය වන්නේද ධාතුසේන මහ රජුන් විසින් කරවන ලද යෝධ ඇළෙනි. ඒ කරඹෑව ප්‍රදේශය හරහා ගලා යන කරබෑව යෝධ ඇළෙනි. තිසා වැව සිට කරඹෑව වැව දක්වා ජලය රැගෙන යන කරඹෑව යෝධ ඇළෙනි. කරඹෑව යෝධ ඇළ යනු ධාතුසේන රජතුමන් විසින් කරවූත් ඓතිහාසික උරුමයක් වූත් යෝධ ඇලේ දිගුවක් කීමද නිවැරදිය.

 එමෙන්ම මෙයට වැව් ඉහත්තාවෙන් පැමිණෙන ජලයද ඒකරාශී වෙයි. එසේ වූ මෙම වැවට කණ කොකා හඬන්නට පටන් ගත්තේ 2015 වසරේ සිටය. ඒ වැව අක්‍රිය වීමෙනි. සත්‍ය වශයෙන්ම වැව ස්වාභාවිකව අක්‍රිය වූවා නොව අක්‍රිය කර වූවා යැයි කීම සම්පූර්ණයෙන්ම නිවැරැදිය.

“මේ වැව එක්දහස් නවසිය තිස් ගණන්වල මැනලා තියෙනවා. මේවා විතරක් නෙවෙයි එතකොට අනෙකුත් වැව්ත් මැනලා තියෙනවා. ඒත් මෙතැන තියෙන ගැටලුව මේ වැවේ මායිම් සලකුණු කරලා ගල් දාලා නැහැ. ඒත් වැව් බැම්ම හොඳින් මැනලා තියෙනවා. “

මෙසේ පැවැසුවේ පසුගියදා අනුරාධපුර මෙකී වැව් ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ක්ෂේත්‍ර චාරිකාවක නියැළෙමින් සිටි රාජ්‍ය නිලධාරියෙකි. අපි ද එම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියෙමු. මෙකී කුඩා කටුකැලියාව වැවේ සීමා මායිම් සලකුණු කිසිසේත්ම දක්නට නොලැබේ. එබැවින්  වැව් ආක්‍රමණිකයන්ටද එය පනින රිළවුන්ට ඉනිමං බැඳි තත්ත්වයකි. මේ ආකාරයට එකී ආක්‍රමණිකයන්ට අවශ්‍ය නීත්‍යානුකූල තත්ත්වයක් ඇතිකර දීමටද ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ නිසාම අවස්ථාව උදාවී ඇත. ඒ අනුව  ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් වැවට අයත් ඉඩම් බෙදා දීම සඳහා අනුරාධපුර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ ඉල්ලා ඇත. නමුත් මේ තත්ත්වය ඇති වීමට ප්‍රධානම හේතුවක් වූ වැව මැනීම සිදු නොකර ඇති බැවින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්වරයා හරහා  ජූලි මාසයේ වැව මැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

කෙසේ වුවද වැව මැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. වැවට පෝෂණය සපයන මෙහි පෝෂිත ඇළ වන කරඹෑව යෝධ ඇළ තුළින් වැවට ප්‍රවේශ වන මාර්ගයද යථාවත් විය යුතුය. නමුත් අවාසනාවකට මෙන් වැවට කිසිම ඇල්මක් නැති පුංචිරාලනම් පුද්ගලයකු  විසින් පෝෂිත ප්‍රවේශ මාර්ගයද අහුරා තම පෞද්ගලික භුක්තියට සවිකරගෙන ඇති බව දක්නට ලැබේ. වර්තමානයේ මේ ස්ථානයේ සැබැවින්ම ප්‍රවේශ මාර්ගයක් තිබුණාදැයි සොයා ගැනීම පවා බැලූ බැල්මට දුෂ්කරය. ඒ තරමටම මෙකී පුද්ගලයන් විසින් වැව විනාශ මුඛයට ඇද දමා තිබේ. මේ පුංචිරාල නම් පුද්ගලයා මෙසේ අත්තනෝමතික ලෙස හැසිරෙන්නේ ප්‍රවේශ මාර්ගය අවහිර නොකරන ලෙස අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ එවකට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිල වශයෙන් දැනුම් දීමක් කර තිබූ තත්ත්වයක් යටතේය. ඔහු මෙසේ අත්තනෝමතිකව හැසිරෙන්නේ ඔහුට ඇති දේශපාලන හයිය නිසා බව වැව රැක ගැනීමට ළැදිකමක් දක්වන ප්‍රදේශවාසීන් අප හා පැවැසීය.

පෝෂක ඇළ, වාන් ඇළ සහ සොරොව් දෙක ප්‍රතිසංස්කරණය කර වැව සම්පූර්ණ වශයෙන්ම යථා තත්ත්වයට පත්කර ඒ යටතේ පැවැති කුඹුරු ඉඩම් නැවත වගා කරවීමට කටයුතු කරන ලෙසයි. ඉඩම් හිමියන් විසින් හෝ මෑත කාලීනව එම කුඹුරු ඉඩම් සංවර්ධනය කිරීම සඳහා මිලදී ගත් අය විසින් එම කුඹුරු ඉඩම් වගා කිරීමට කටයුතු නොකරන්නේ නම්, ගොවිජන සංවර්ධන පනතේ විධිවිධානවලට අනුකූලව එම ඉඩම් ගොවිජන සේවා කාරක සභාවට පවරා ගනිමින් වගා කිරීමට කටයුතු කරන  ලෙසයි.

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 302 – කටුකැලියාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ, කටුකැලියාව නම් ගමෙහි පිහිටි පහළ කටුකැලියාව වැව. ඒත් මෙතැන තියෙන ගැටලුව මේ වැවේ බැම්ම මැන මායිම් සලකුණු කර ගල් දමා තිබුණත් එහි ජල පැතිරුම් ප්‍රදේශය සහ එහි රක්ෂිතය මැන මායිම් සලකුණු කර නොතිබීමයි.

වැවේ තත්ත්වය තවත් නරක අතට බලපෑ තත්ත්වයක් පිළිබඳව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.

“මේ කුඩා කටුකැලියාව වැවේ සොරොව් දෙකම කඩලා දාලා. මේක වෙලා තියෙන්නේ 2015 දී. අනුරාධපුර පොලිසියට කීවත් වැඩක් වෙලා නැහැ. දැන් මේ සොරොව් කඩලා දාලා අවුරුදු දහයක් වෙනවා. නමුත් අදිසි හස්තයකින් මේ වැව ප්‍රතිසංස්කරණය කරන එක වළක්වනවා. මේකේ තියෙන අනිත් වැඩේ තමයි දැන් වැව ආක්‍රමණය කරලා විනාශ වෙන්න ඇරලා. කුඹුරු පුරන් කර ගොඩකිරීමේ ජාවාරමක් පටන් ගෙන තියෙනවා. මොවුන් කරන්නේ අවුරුදු දහයක් පමණ මොන තක්කඩිකමක් කරලා හරි කරලා කුඹුරු පුරන් වෙන්න අරිනවා. මේ කුඹුරු ඉඩම් ගොඩ කරලා විකුණන පුද්ගලයන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සමඟ යම් සම්බන්ධකමක් තියෙනවා කියලත් ආරංචියි.

මෙහෙම කුඹුරු ඉඩම් ගොඩ කරන්න දෙන්න බෑ. දැනට මේ වැව තියෙන්නෙත් පූජාභූමි ප්‍රදේශයේ. මේ වැව සක්‍රිය කරන්න ඕන. ඒ වගේම ප්‍රධානම දේ මේ වැව මැනීම හැකි ඉක්මනින් කරන්න ඕන. ඒ වගේම ඇතුළේ ඉන්න අය ඉවත් කළ යුතුයි. පෝෂිත ඇළ සක්‍රිය කරන්න ඕන. කුඹුරු ටික සක්‍රිය කළොත් මේ ප්‍රදේශයම අස්වද්දන්න හැකියාව තියෙනවා.”

අනුරාධ තෙන්නකෝන් මහතා පැවැසූයේ සත්‍යයකි අප කළ සොයා බැලීම්වලදී ප්‍රසිද්ධ ධර්ම කථික හිමිනමක් පවා නොමඟ යවා උන්වහන්සේටද කුඹුරු ඉඩම් අක්කර දෙකක් පමණ මේ වන විට විකුණා ඇත. ඒ සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් නොලැබීමෙන් උන්වහන්සේවද නොමඟ යවා ඇති බව අප කළ සොයා බැලීම්වලදී අනාවරණය විය.

උන්වහන්සේ විසින් එම කුඹුරු ඉඩම ගොඩකර,  ඉදිකිරීම් සඳහා අවසර ලබා ගැනීමට යෑමේදී, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඊට කිසිදු අවසරයක් ලබාදීමේ හැකියාවක් නොපවතින බවට දක්වා සිටීම නිසා අද එම කුඹුරු ඉඩම අත්හැර දැමූ ඉඩමක ස්වරූපයක් ගෙන ඇත.

මෙවන් තත්ත්වයක් පවතිද්දී අනුරාධපුර ගොවි සංවිධානය කුඩා කටුකැලියා ඔය පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අවස්ථාද නොතිබුණා නොවේ. එවන් අවස්ථාවක ගොවිජන සේවා නිලධාරීන් සිදු කරන්නේ ස්වකීය පනත ප්‍රකාරව අසූ තුන වගන්තිය යටතේ පරීක්ෂණයක් කිරීමට පියවර ගැනීමයි. මේ ආකාරයට පුංචි රාළ නමැත්තා කරන අකටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේඑදී එවකට පැවැති යහපාලන සමයේ දේශපාලන බලපෑම් නිසා එවැනි පරීක්ෂණ යට ගසා තිබූ බව ගොවිජන සංවර්ධන ආරංචි මාර්ග පවසයි.

එසේ පැමිණිලි කළ මුල් අවස්ථාවේදී, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ස්වකීය පනතේ 83 වගන්තිය ප්‍රකාරව පරීක්ෂණයක් කිරීමට මූලික පියවර ගත්තද එම පරීක්ෂණය එවකට පැවැති දේශපාලන බලපෑම් මත යටගිය බව සැලයි.

කෙසේ වුවද කුඹුරු ඉඩම් ගොඩ කර විකුණන්නන්ද ඊට නිදහසට කාරණා හැටියට ගෙනහැර දක්වන්නේ අපූරු හේතුවකි. එනම් වැවට ජලය නොලැබෙන බැවින් කුඹුරු හැටියට ඉඩම් පවත්වාගෙන යෑමට නොහැකි බවයි. එහෙත් ගොවි ජන සේවා ආරංචි මාර්ග මෙන්ම අප කළ සොයා බැලීම්වලදී පවා පැහැදිලි වූයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා වැව විනාශ කිරීමට කටයුතු කරන්නේ වැව ආක්‍රමණය කරන පිරිස් පමණක් නොව කුඹුරු ඉඩම් හිමි පිරිසද වැව විනාශ වීමට කටයුතු කරන බවයි. එහෙත් අවාසනාවකට මොවුන් පිළිබඳව කොතෙක් පැමිණිලි කළද කිසිදු විධිමත් පරීක්ෂණයක් මේ දක්වා සිදු වී නොමැත.

මෙවන් තත්ත්වයක් යටතේ පසුගිය සැප්තැම්බර් පළමුවැනි දින අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ නිලධාරීන්, අනුරාධපුර ගොවිජන සේවා සංවර්ධන නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන ද ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින් කුඩා කටුකැලියාවට  අත්වන ඉරණම පිළිබඳව සොයා බැලූහ.

කෙසේ වුවද මේ පිළිබඳව අනුරාධපුර ගොවිජන සංවර්ධන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් කැලුම් දිසානායක මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසුවේ මෙවැන්නකි.

“මේ වැවෙන් අස්වද්දන්නෙ කුඹුරු අක්කර පහක් හයක් කියල වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා එක සොරොව්වක් පමණක් ප්‍රතිසංස්කරණය කිරීම සුදුසුයි කියලා අපි හිතනවා. අනික මේ වැවට වානක් නැහැ. අපි වානක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වටේ ඉන්න අයටත් ආදායම් මාර්ගයක් හැටියට මිරිදිය මත්ස්‍ය වගාවක් හෝ මල් ව්‍යාපෘතියක් සිදු කරන්න යෝජනාවක් තියෙනවා. එතකොට වටේ ඉන්න අයටත් වැව ආරක්ෂා කර ගත යුතුයි කියලා හිතන්න පෙලඹෙනවා”

කෙසේ වුවද වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී මැනීම හරහා වැව ආක්‍රමණය කළ පිරිස් ඉවත් කිරීම සම්බන්ධව ගොවි සංවිධාන දිගින් දිගටම කරුණු දැක්වූ අතර ඒ පිළිබඳව අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් සුදර්ශ දිසානායක මහතා අප හා මෙසේ පැවසීය.

“මිනුම් දෙපාර්තමේන්තුවට මැනුම් නියෝගය අපි යවනවා වැව මනින්න කියලා. මොනවා කළත් වැව මැනලා රක්ෂිත තුළ ඉදිකිරීම් කටයුතු කවුරු හරි කරලා තියෙනවා නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා”

කෙසේ වුවද කටුකැලියාව එක්සත් ගොවි සංවිධානයේ සභාපති පතිරණ මහතා මෙකී රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා සම්බන්ධයෙන් දැක් වූයේ මෙවන් අදහසකි.

“එක් වැවක් පමණක් ප්‍රතිසංස්කරණය කරනවා කියන එකට අපි එකඟ නැහැ. පැහැදිලිවම දෙකම ප්‍රතිසංස්කරණය කරන්න ඕන. මොකද මේ වැව මැන්නහම අනිවාර්යයෙන්ම මීට වඩා වැවේ ප්‍රමාණය වැඩි වෙනවා. අපට සොරොව් දෙකක්  තියෙන්නේ. ඒ නිසා එක සොරොව්වක් පමණක් ප්‍රතිසංස්කරණය කරලා කුමන හෝ ව්‍යාපෘතියක් කරනවා කියලා කියන්නේ මේ අනවසර වැව ආක්‍රමණිකයන් ආරක්ෂා කිරීමටද යන්න කියන ගැටලුව අපට තියෙනවා. ඒ නිසා අපේ යෝජනාව මේ සොරොව් දෙකම වැවේ ප්‍රතිසංස්කරණය කරලා මැනුම් කටයුතුත් නිසි ලෙස කරලා කුඹුරු ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම නවතලා මේ දැනට අලෙවි කරලා තියෙන කුඹුරු ඉඩම්ද නැවත පවරා ගන්නා ලෙසයි”

මෙකී කරුණු කාරණා සියල්ල සලකා බැලීමේදී  අනුරාධපුර ගොවිජන සංවර්ධන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් කුමන හෝ බලපෑමකට යටත්ව වැව සම්බන්ධව කටයුතු කර ඇති බව පැහැදිලිය. ඒ අනුව වැවක ඉඩම් හිතු හිතූ ආකාරයට කිසිවකුට පවරාදීමට ප්‍රාදේශීය ලේකම්වරයාට කිසිම හැකියාවක් නැත. යමෙකු එසේ පවරා තිබේ නම් එය අවලංගු කිරීමට වර්තමාන අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්වරයාට නීතිමය බලය පවතී. ඒ අනුව හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන්ට විනයානුකූලව පවා කටයුතු කිරීමේ හැකියාව පවතී.

සාමාන්‍යයෙන් රජයේ නිලධාරියෙක් තමන් වගකීමෙන් බැඳෙන්නේ ඔහු සද්භාවයෙන් ක්‍රියා කරනවාද යන්න මතය. සද්භාවය යනු දණ්ඩ නීති සංග්‍රහය යටතේ නිසි අවධානය හා සැලකිල්ල යොමු කිරීමය. එසේ නම් මේ ආකාරයට නිසි අවධානය හා සැලකිල්ල යොමු කර තිබුණේ නම් ප්‍රාදේශීය ලේකම්වරුන් හිතුමතයට මෙම ඉඩම්වලට විවිධ ආකාරයේ අවසර පත්‍ර හෝ බලපත්‍ර මඟින් වැව කෑලි කෑලිවලට කඩා ඔප්පු ලබා දිය හැකිද යන්න බරපතළ ප්‍රශ්නයකි. අප මෙහිදී ප්‍රශ්න කරනු ලබන්නේ මෙසේ වැවක් කිසිසේත්ම මැනුම් කටයුතු නොකර පැවැති තත්ත්වයක් යටතේ මේ ආකාරයට මධ්‍යම නුවරගම් පළාතේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් ඔප්පු බෙදා දුන්නේ කෙසේද යන්නය. ඒ අනුව වැව නිසි ලෙස මිනුම් කර මායිම් සලකුණු කිරීමට හැකි ඉක්මනින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම සොරොව් දෙක ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ප්‍රවේශ මාර්ගය වසා සිටින පුංචිරාළ නම් පුද්ගලයා ආක්‍රමණය කර ඇති ඉඩම දැන් නැවත වැවට හිමිකර දීම ද ඊළඟ වැදගත්ම කාරණය බව අප අවධාරණය කළ යුතුය.

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේම පෙර පැවැති ආණ්ඩුවල අනේක විධ අයථා ක්‍රියා බරපතළ ලෙස තියුණුව විවේචනයට ලක් කරමිනි. ඒ අනුව මෙහිදී අප කතා කළ කුඩා කටුකැලියාව වැව සම්බන්ධවත් මෙසේ මාරාන්තික ඉරණමක් අත් කරදීමට කිසියම් ආකාරයකට දිසානායක චන්ද්‍රසේන යුගවල පැවැති දේශපාලන බලපෑම්වලට එරෙහිව පියවර ගැනීමට වත්මන් ආණ්ඩුවල දේශපාලකයන්ට හැකි විය යුතුය.

චේතනාන්විතව ගොඩකර,  පුරවා හෝ පුරන් වීමට ඉඩහැර එම ඉඩම් අයිතිකරුවන් විසින් හෝ තැරැව්කරුවන් විසින් හෝ වංචනිකව ඉතා අධික මිලකට විකිණීමේ ජාවාරමක් මේ වන විට ජයටම ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්

මේ කුඩා කටුකැලියාව වැව ද එල්ලංගා පද්ධතියට (වැව් මාලය) අයත්ය. මෙය පිහිටා ඇත්තේ ද අනුරාධපුර පූජා භූමියේමය. එබැවින් මෙකී පූජා භූමිවල පවතින කුඹුරු ඉඩම් හෝ ඒ වෙනුවෙන් ඉඩමක් කිසියම් පුද්ගලයකු රටේ වෙනත් අයකුට කුමන ආකාරයෙන් හෝ රවටා විකිණීමට හැකි බැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත් වී මිලදී නොගන්නා ලෙසද අප මේ දැනුවත් කිරීමට අවස්ථාවක් කර ගන්නෙමු.

එබැවින් ලෝක උරුම භූමියක් වන අනුරාධපුර පූජා භූමියේ පවතින කුඹුරු ඉඩම් ගොඩ කිරීම සහ ඒ මත විශාල ඉදිකිරීම් සිදුකර විවිධාකාර වූ සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේ ජාවාරම සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතුව ඇත.

වැව යනු සිංහලයන්ට පමණක් අනන්‍ය විශිෂ්ට නිර්මාණයකි. අතීත දැවැන්ත වැව් නිර්මාණය කරමින් ඒවා එකිනෙක යාවෙන සේ කුඩා පරිමාණ වූ වැව් ඇළ වේළි පද්ධතියක්ද නිර්මාණය කළේ ඔවුන්ගේ ජීවිත කාලය පමණක් සලකා බලා නොවේ. එවකට අනාගතය වූ අපගේ සුබ සිද්ධියද සලකාය. එබැවින් අපට ආවේණික උරුමයන් මතු පරපුරටද ආරක්ෂා කරදීමට කටයුතු කිරීම වත්මන් පරපුර වන අප සැමට වගකීමක් මෙන්ම යුතුකමක්ද පවතින බව අවසන් වශයෙන් අවධාරණය කළ යුතුය.

ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ( මව්බිම ඉරිදා)