ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) යනු අපට කාලයෙන් කාලයට ප්රවෘත්ති මවන ආයතනයකි. එහි පුදුමය වන්නේ කුමන පාලනාධිකාරිය එහි පාලන කටයුතු භාර ගත්තද වසර ගණනාවක් විගණනය කරන්න බොහෝ දේ ලබා දෙන්නට ඔවුන් සමත් වීමය. කාලයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් දන්සලක් පවත්වා ඇති බව කෝප් කමිටු සභාපතිවරයා විසින් නිලධාරීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම පැවසුවේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වැඩ එතරම් අපූරුය.
මේ වන විට කොමිෂන් සභාව විසින් කරළියට දිගහැර ඇති ප්‍රධාන මාතෘකාව වන්නේ රු. මිලියන 240ක් හෙවත් ලක්ෂ 2,400කට කොමිෂන් සභාවට ගොඩනැඟිල්ලක් මිල දී ගැනීම සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් මේ වන විට ඉඩම් අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
අදාළ ගොඩනැඟිල්ල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්යාල කටයුත්තක් සඳහා උචිත නොවූවද පසුගිය වසරේ ජූනි මාසයේ එය රු. මිලියන 240ක වියදමින් මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

විගණන වාර්තාවලට අනුව හෙළි වී ඇත්තේ කොමිෂන් සභාව 2016 වසරේ සිට බදු පදනම මත බත්තරමුල්ල, කඩුවෙල පාරේ, ග්‍රෙගරි පාරේ අංක 475 දරන ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බවයි. 2023 වසරේදී ඒ සම්බන්ධයෙන් ස්ථිර ගොඩනැඟිල්ලක අවශ්‍යතාව පෙන්වා දීමෙන් පසුව ඒ සඳහා ඉඩම් ඇමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එයින් දක්වා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ සිවුවැනි මහල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්යාලය සඳහා අවශ්‍ය වන බවයි.
2023 නොවැම්බර් 7 වැනිදා කැබිනට් තීරණ අංක CM/23/186/615/002-II හරහා ඉඩම් අමාත්‍යාංශයේ සිවුවැනි මහලේ කාර්යාලය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය දී ඇත. එහෙත් ඒ අනුමැතිය නොසලකා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් බදු පදනම මත කාර්යාලය පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොඩනැඟිල්ල 2024 ජූනි මාසයේදී රුපියල් මිලියන 240කට හෙවත් ලක්ෂ 2,400කට මිල දී ගෙන ඇත.
එම ගොඩනැඟිල්ල කිසිසේත්ම කාර්යාලයකට සුදුසු නොවන්නේ එය පිහිනුම් තටාක, මංසන්ධි සහ කොරිඩෝ තිබීම නිසා ගොඩනැඟිල්ල තුළ පවතින අන්ධකාරය නිසාය. එමෙන්ම විශාල කාර්යාලයකට එය කිසිසේත්ම සුදුසු නොවන බව නිරීක්ෂණය වී තිබේ. එය වඩාත් උචිත වන්නේ හෝටලයක් වැනි ආයතනයකට හෝ නේවාසික පහසුකම් ඇති රෝහලකට බව නිරීක්ෂණය වී ඇත.
එවන් පසුබිමක විශේෂයෙන්ම ජනතා අවශ්‍යතා ඉටු කරන රාජ්‍ය ආයතනයකට කිසිසේත්ම නොගැළපෙන ලෙස මෙසේ අතිවිශාල මුදලකට ගොඩනැඟිල්ලක් මිලට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කේ ඒ වන විටත් අමාත්‍යාංශයේ සිවුවැනි මහල කැබිනට් අනුමැතියෙන් ලබා දී තිබූ නිසාය. කෙසේ වෙතත් කොමිෂන් සභාව විසින් සිදු කරන ලද මේ අවභාවිතය අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ පවසා තිබිණි.
අපේ බොහෝ නිලධාරීහු හරිම සූක්ෂ්මය. ඔවුන් අවභාවිත කරන්නේ බෝලය තවත් අයකුට පාස් කරමිනි; එසේ නැති නම් අවභාවිතය නීත්‍යනුකූල කරමිනි.
මහජන සේවා ඉටු කිරීමට මෙතරම් උත්සාහයක් තිබුණා නම් අද රට ස්වයංපෝෂිත වනු ඇත. ගොඩනැඟිල්ල මිලට ගැනීම අදාළ සියලු ලේඛන පරීක්ෂා කළ විට අනාවරණය වී ඇත්තේ ඒ සියල්ල නිසි ලෙස සිදු කර ඇති බවයි. එහෙත් කොමිෂන් සභාවකට කිසි සේත් නොගැළපෙන නුසුදුසු ගොඩනැඟිල්ලක් බව මේ වන විට අනාවරණය වී ඇත.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් මිලට ගත් එම ගොඩනැඟිල්ල සහ යාබද ඉඩම, (පර්චස් 6.5ක යාබද හිස් ඉඩම ඇතුළුව) පර්චස් 29ක භූමි ප්‍රමාණයක ගොඩනැඟිල්ලේ පරිශ්‍රයට අමතරව රුපියල් මිලියන 240ක තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු මිල දී ගෙන තිබිණි. මේ ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන තිබූ අතර, අදාළ කටයුතු මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සහාය ඇතිව සිදු කර තිබිණි.
එමෙන්ම මිල දී ගත් එම ගොඩනැඟිල්ල සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය පත් කිරීමටද පසුගිය වසරේ අගෝස්තු 28 වැනිදා පැවති කොමිසමේ සැසිවාරයේදී අංක 12894 දරන කොමිෂන් සභා පත්‍රිකාව හරහා අනුමැතිය ගෙන තිබිණි.
මීට අමතරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් දේපළ වෙළෙඳාම් සමාගමකට අක්කර 25ක් පර්චසයක් රුපියල් 28.72ක මුදලකට ලබා දී ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ අනුව එම අක්කර 25ක් රුපියල් 101,109ක මුදලකට දී ඇති බව ද හෙළි වේ. අපූරු ගනුදෙනුවකි! රුපියල් ලක්ෂයකට අක්කර 25ක් මිලට ගැන්මට හැකි පෙදෙසක් මෙරට තිබේද? අදාළ සමාගම විසින් එම අක්කර 25ක් මිලට ගැනීමෙන් පසු ඒ සමාගම විසින් පර්චසයක් රු. ලක්ෂ 6 බැගින් විකුණා ඇති බව මේ වන විට වාර්තා වී ඇත. රුපියල් 28.72කට ගත් පර්චසයක් රු. ලක්ෂ 6කට අලෙවි කිරීම අහසට පොළොව මෙනි. මෙවන් ගනුදෙනුවකට දූෂණය, අක්රමිකතාව නැති නම් අවභාවිතය, එසේත් නැති නම් සොරකම යන වචන හොඳ වැඩි බව අපේ හැඟීමයි. එතරම් නිහීන මහා පරිමාණ වංචා දූෂණයක් මෙහිදී සිදුව ඇති බව පැහැදිලිය.
තවත් වාර්තාවක දැක්වෙන්නේ කොමිෂන් සභාව පවරාගත් එම ඉඩමක් වෙනුවට හන්තාන – ඌරගල වත්තෙන් අක්කර 25ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයකුට දුන් බවත්, ඔහු එය වෙනත් පුද්ගලයකුට ඇටර්නි බලපත්‍රයක් මඟින් පවරා ඇති බවත්ය.
පසුව එම පුද්ගලයා විසින් එම ඉඩම දේපළ වෙළෙඳාම් සමාගමකට පවරා ඇති බවත් වාර්තා වේ. රජයේ ඉඩම් එසේ හිතෙන හිතෙන අයට අලෙවි කළ හැකිද? ඇටර්නි බලපත්‍ර මඟින් හිතෙන හිතෙන අයට ලබා දිය හැකිද? එයින්ද නොනැවතුණු කොමිෂන් සභාව තවත් අපූරු කෙරුවාවල් රැසකටද දායක වී ඇත.

විශේෂයෙන්ම, කෘෂිකාර්මික ඉඩම් හිමි නොවන අයට විකල්ප ඉඩම් ලබා දීමට හැකියාවක් නැති නමුත් කොමිෂන් සභාව විසින් එවැනි අය වෙත විකල්ප ඉඩම් මුදාහැර ඇති බව අනාවරණය විය. එලෙසින් කෘෂිකාර්මික ඉඩම් හිමි අයකු නොවන තැනැත්තියකට හිමි රත්නපුර දිස්ත්‍රික්කයේ රාස්සගල වත්තේ අක්කර 22ක් වෙනුවට විකල්ප ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වත්ත ඉඩමෙන් අක්කර 43කට වැඩි ප්‍රමාණයක් දී ඇත.
මෙහි තවත් අරුමයක් වන්නේ රාස්සගල වත්ත ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් නොවීමයි. එය ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතුව තිබූ බවට මේ වන විට අනාවරණය වී ඇත.

මෙවන් අරුම පුදුම කෙරුවාවල් සිදු කෙරුණද කොමිෂන් සභාව ආරම්භ කර මේ වන විට වසර 50ක් ඉක්ම ගොස් ඇතත් කොමිෂන් සභාව සතු ඉඩම්වල මායිම් නිසි පරිදි හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සමත්ව නැත.
වාර්තා වන පරිදි ඇතැම් මායිම් හඳුනාගත නොහැකි නමුත් ඉඩම හඳුනාගෙන ඇත. ඇතැම් තැන්හි ඉඩම් සහ ඉඩම හෝ මායිම හඳුනාගෙන නැත. ඒ සඳහා කිසිදු විධිමත් වැඩපිළිවෙළක් ගැන අවධානය යොමු කර නැත්තේ ඇයිද යන්න විශාල ගැටලුවකි.
එම අවස්ථාවේදී කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ ප්‍රථම වතාවට කොමිෂන් සභාව සතු ඉඩම් පිළිබඳ ලැයිස්තුවක් සකස් කර ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට කොමිෂන් සභාව සඳහා 2026 – 2030ට අදාළ සුදුසු සංයුක්ත සැලැස්මක් සකස් කරන ලෙස දුන් නිර්දේශයට අනුව සංයුක්ත සැලැස්මක් සකස් කොට අමාත්‍යාංශයට ලබාදී ඇති බවද වාර්තා වේ.
ඉඩම් සම්බන්ධයෙන් පමණක් නොව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීම ඇතුළු පසුගිය කාලය තුළ සිදු කරන ලද අනීතික පත්වීම් නිවැරැදි කරන ලෙසට දෙන ලද නිර්දේශයට අනුව පත් කිරීම් සියල්ල පිළිබඳ මූලික වාර්තා කැඳවා එම වාර්තා පරීක්ෂා කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත.
කොමිෂන් සභාව විසින් සේවකයන් සඳහා අර්ථසාධක අරමුදලක් පිහිටුවීම, සුභසාධන හා විනෝද ක්‍රීඩා පහසුකම්, නිවාස හා නේවාසිකාගාර ආදිය සපයා සේවකයන්ට පහසුකම් සැලසීම වෙනුවට කොමිෂන් සභාවේ වසර 5ක් අඛණ්ඩ සේවයක් හිමි සේවකයකුට පර්චස් එකක් රුපියල් 1,000ක වටිනාකමට පර්චස් 20 බැගින් ලබා දීමේ ක්‍රමවේදයක්ද අරඹා තිබිණි.
ඒ අනුව පර්චස් 20ක වටිනාකම රුපියල් 20,000කි. මේ ලෙස ශ්‍රීලංකන්, වරාය අධිකාරිය වැනි ආයතනවලද එවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ නම්, නැව් පවා ගෙවල්වලට ගෙන යන තත්ත්වයන් ඇති වන්නට තිබිණි! කෝච්චි පෙට්ටියක් ගෙදර ගෙන යන්නට දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 40ක් පමණ සේවය කළ අයට හැකි වන්නට තිබිණි! මෙවන් ක්‍රමවේද කෙසේ සකස් කළේද? අමාත්‍යාංශ අනුමැතිය තිබුණේද? යන්න ගැන විමර්ශනය කළ යුතුය. එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේ නැඟෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කරගෙන ඇත. එම ඉඩම් අතුරින් බොහෝ ඉඩම් වනාන්තර හෝ ජලපෝෂක ඉඩම් ලෙස පවතින ඉඩම්ය.
එම ඉඩම් සිංහරාජ වනාන්තරයට පවරාගැනීමට කටයුතු කළද වර්තමානය වන විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඒවා ඩැහැගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ. එමෙන්ම ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඉඩම් පවරාගැනීමේදී හිමිකරුට ඒ වෙනුවෙන් විකල්ප ඉඩම් දිය යුතුය. එසේ තිබියදී ඉඩම් පවරාගත් පාර්ශ්වයන්ට හිලව් ඉඩම් ලබාදීම පවා සම්පූර්ණ කර නැති පසුබිමක, ඉඩම් නැති මිනිසුන්ගේ ඉඩම් අවශ්‍යතාව සඳහා ඉඩම් වෙන් කර නැති පසුබිමක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට රුචි පරිදි තම ඥාතීන්ට, හිතවතුන්ට, දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් ඉඩම් දී ඇති බවද වාර්තා වේ.
යම් යම් පාර්ශ්ව විසින් මෙසේ ලබාගන්නා ඉඩම් අලෙවි කර මුදල් උපයාගැනීමද කාලාන්තරයක් තිස්සේ සිදු වන්නකි.
එමෙන්ම එවැනි ඉඩම්වල පස් කැපීම, කළුගල් කැඩීම මෙන්ම වෙනත් ඛනිජ කැණීම්ද මේ වන විට ඇතැමුන් විසින් නීත්‍යනුකූල නොවන අවසර මත සිදු කරනු ලබන අතර, කොමිෂන් සභාව විසින් දිය යුතු ඉඩම් වෙනුවට ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් දීමට කටයුතු කිරීම තම ඉඩම වෙනුවට අල්ලපු ගෙදර අයගේ ඉඩම් ගෙවල් අලෙවි කිරීම හා සමානය.
මීට අමතරව, ඇඹිලිපිටියේ අක්කර 100ක පමණ භූමියකට විවිධාකාර පුද්ගලයන් හිමිකම් පෑම ආරම්භ කර ඇති අතර, ඒ වෙනුවෙන් නිසි ආකාරයේ හිමිකම් ක්‍රමවේදයක් කොමිෂන් සභාව විසින් සිදු කර නැත. ඒ ගැන පැමිණිලි රැසක් ලැබී ඇති නමුත් කොමිෂන් සභාව ඒ ගැන අවධානය යොමු නොකරන්නේ ඒ සඳහා අතයට අනුමැතියක් ලබා දෙන්නට දෝ යන සැකය බොහෝ දෙනා තුළ තිබේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ තවත් අපූරු සිදුවීමක් අපට වාර්තා වන්නේ නැඟෙනහිර පළාතෙනි. මෙවන් සිදුවීම් සම්බන්ධව සිළුමිණ මීට පෙරද වාර්තා කරන ලදී. එහෙත් ඒ සම්බන්ධව අවධානයක් යොමුව නැති බව මේ සිදුවීම් දිගින් දිගටම සිදුවීම නිසා අපට අනුමාන කළ හැකිය.
ජීවත්ව සිටින අයට පමණක් නොව, මියගිය අයටද ඉඩම් දී එම ඉඩම් අවභාවිත කරනා බව මේ වන විට හෙළිව තිබේ.
විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ රන්බිම ඔප්පු ප්රදානයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ උප්පාරු ප්‍රදේශයේ මඩ/110 ගොනුවට අයත් පිඹුරු අංක 976/2005 දිනැති සකස් කර අනුමත කර ඇති පිඹුරේ, කැබලි අංක 4 හිමි සින්න තම්බි නඩේසපිල්ලෙ නමැති අය 2017.09.03 දින මියගොස් ඇත. ඔහුට ඉඩම් ලබා දෙන්නේ 2020.02.24 දින පැවැති උත්සවයකදීය; එනම් ඔහු මියගොස් වසර 3කට ආසන්න කාලයකදීය. යම් හෙයකින් ඉඩම් හිමියකු නම් කර මාසයක් දෙකක් හෝ උපරිම වශයෙන් මාස 3ක කාලයකදී ඔහු මියගොස් තිබුණ හොත් ඒ ගැන පසු විපරම් කරන්න කාලයක් නැති හෙයින් එසේ මියගිය තැනැත්තකුට ඉඩමක් ලියවෙන්න ඉඩක් ඇත. එහෙත් වසර 3ක් යන තුරු එවන් සිදුවීමක් අනාවරණය නොවීම විශ්වාස කළ හැකිද? අදාළ මියගිය තැනැත්තාගේ අංක 9130 ලෙස ලියාපදිංචි කර ඇති අතර, ඒ බව දැන දැනත් අංක 10984 දරන ඔප්පුව සින්න තම්බි නඩේසපිල්ලයි යන අයට කරුණු සඟවා වංචනික ලෙස ලබා දී ඇත.

මෙම ඔප්පුව සින්න තම්බි නඩේසපිල්ලයි යන අයට නිකුත් කිරීම නීතිවිරෝධී බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අභ්‍යන්තර විගණන අංශය විසින් වාර්තා කර ඇති නමුත් ඒ අනාවරණය පවා ඇතැම් බලවතුන් විසින් යට ගසා ඇත.

- මියගිය සින්න තම්බි
නඩේසපිල්ලෙට ඉඩම් දීම සම්බන්ධ විගණන වාර්තාව
අද වන විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්යය කුමක්ද යන්න පවා එහි සිටිනා බොහෝ නිලධාරීන්ට අවබෝධයක් නැති බවද පැහැදිලිය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වසර 50කට පමණ පෙර එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ස්ථාපිත කරන ලද්දේ පවුල් 6,000කට අයිතිව තිබූ, ඉඩම් අක්කර ලක්ෂ 15කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් රජයට පවරා ගැනීම පිණිසය. එසේ පිහිට වූ එම ආයතනය අද වන විට දේශපාලකයන්ගේ හා කොමිෂන් සභාවට වරින් වර පත්ව ආ දේශපාලනඥයන්ගේ හෙංචයියන්ගේ ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත.
ඒ තත්ත්වය වෙනස් කර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිත්‍ය කාර්යය පාර්ලිමේන්තු පනතකින්ම යළි ස්ථාපිත කළ යුතුය. එසේ නොවුවනහොත් මේ ලෙසින් ඉඩම් තම හිතවතුන්ට පවරා දීම, විශේෂයෙන්ම රක්ෂිත ඉඩම් අයථා පරිහරණය කිරීම මෙන්ම අවශ්‍යතාවන්ට ඉඩම් නිදහස් නොකිරීමෙන් සංවර්ධන කටයුතු ඇනහිටීමද සිදු වනු ඇත. සියල්ලට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් වපසරිය හා එම ඉඩම් බදු දීම සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුය. එසේ නොකරන තාක් මේ අවභාවිතයන් නීත්‍යනුකූලවම කරන්නට ඒ වෙනුවෙන්ම බලා සිටින්නන්ට හැකි වනු ඇත.
කෙසේ වෙතත් ඉතාම බරපතල සිදුවීම් වාර්තා වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ලෙස නීතීඥ නිලන්ත විජේසිංහ කටයුතු කළ අවදියේදී ය. ඒ සියල්ල ඉදිරියට අණාවරණය කෙරේ.