2023 වසරේ දෙසැම්බර් 31 වනදා වැලිගම W15 හෝටලය අසල සිදුවූ ආන්දෝලනාත්මක වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශගතව සිට යළි දිවයිනට පැමිණෙමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගැනීමත් සමඟ, පොලිස් ඉතිහාසයේ දැඩි කතාබහට ලක්වූ, මෙම සිදුවීමේ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
සිද්ධියේ පසුබිම සහ ව්‍යාකූලත්වය
මෙම සිදුවීම සුවිශේෂී වන්නේ එය පාතාල කණ්ඩායමක් සමඟ වූ ගැටුමක් නොව, කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් කණ්ඩායමක් සහ වැලිගම ප්‍රාදේශීය පොලිසිය/හමුදා නිලධාරීන් අතර වූ සන්නද්ධ ගැටුමක් වීම හේතුවෙනි.
CCD කණ්ඩායම වැලිගමට පැමිණ ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසී, ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයකිනි. අදාළ වැටලීම සම්බන්ධයෙන් වැලිගම ප්‍රදේශයේ පොලිසිය කිසිදු දැනුවත් කිරීමක් කර නොතිබුණි.
හෝටල් බලධාරීන්ගේ දැනුම්දීමකට අනුව පැමිණි වැලිගම පොලිසියේ ජංගම සංචාරක රථය දුටු සැණින් CCD නිලධාරීන් පලා යාමට උත්සාහ කර ඇති අතර අණ නොතකා ධාවනය කළ එම වෑන් රථයේ සිටින්නේ අපරාධකරුවන් යැයි සිතා එහි සිටි හමුදා සෙබළෙකු වෑන් රථයට වෙඩි තබා තිබෙනවා.
ප්‍රහාරයෙන් CCD කණ්ඩායමේ සැරයන් උපූල් නමැති නිලධාරියා මියගිය අතර මෙහි දී උප පොලිස් පරීක්ෂකවරයෙකු බරපතල තුවාල ලබා තිබුනා.
දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත්වීම
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ (පසුව පොලිස්පති ධුරයට පත්ව, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැඩ තහනමට ලක්වූ) දේශබන්දු තෙන්නකෝන් මහතාට බරපතල චෝදනා එල්ල වී තිබෙනවා. බස්නාහිර පළාත භාරව සිටි ඔහු, දකුණු පළාතේ මෙහෙයුමක් සඳහා ප්‍රාදේශීය පොලිසිය දැනුවත් නොකර රහසිගත ප්‍රහාරක කණ්ඩායමක් යැවීම නීතිවිරෝධී ක්‍රියාවක් බවට චෝදනා නැගී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළා පසුව ඔහු අධිකරණයට භාර වී ඇප මත මුදා හැරුනා.
දේශබන්දු තෙන්නකෝන් මීට පෙරද මැයි 9 ප්රචණ්ඩ ක්‍රියා, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු සිදුවීම් ගණනාවකදී පොලිස් බලය අවභාවිත කිරීමේ චෝදනාවලට ලක්වූ නිලධාරියෙකි. මෙම සිදුවීමද ඔහුගේ අණ යටතේ ක්‍රියාත්මක වූ එවැනිම නීතියෙන් බාහිර මෙහෙයුමක් (Extrajudicial operation) බවයි සඳහන් වන්නේ. ඔහු පොලිස්පති ධුරයට පත්කිරීමද නිත්‍යානුකුල ක්‍රමයට සිදු කළ එකක් නොවන බවයි පසුව හෙලිවුයේ.
විමර්ශන යටපත් කිරීමට දැරූ උත්සාහය
වෙඩි වැදීමෙන් පසු තුවාලකරුවන් ආසන්නයේ ඇති වැලිගම රෝහලට රැගෙන නොගොස්, ඉමදූව හරහා අධිවේගී මාර්ගයෙන් කොළඹට ගෙන ඒමට CCD නිලධාරීන් උත්සාහ කර ඇත. එහෙත් අධිවේගී මාර්ග පොලිසිය වෑන් රථය පරීක්ෂා කරන විටත් සැරයන්වරයා අධික රුධිර වහනය හේතුවේ මියගොස් සිටියේය.
කොළඹ සිටි ඉහළ පොලිස් නිලධාරීන් දුරකථන හරහා බලපෑම් කරමින් වෑන් රථය මුදා ගැනීමටත්, වෙඩි තැබූ හමුදා සෙබළා සහ වැලිගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමටත් දකුණු පළාත් පොලිස් ප්‍රධානීන්ට දැඩි බලපෑම් එල්ල කළහ. එහෙත් දකුණේ නිලධාරීන් නිසි ලෙස සටහන් තබමින් එම බලපෑම් ප්‍රතික්ෂේප කිරීම නිසා සිද්ධිය යටපත් කිරීමේ උත්සාහය ව්‍යර්ථ විය.
සැකකටයුතු වන්දි මුදල සහ ඉදිරි විමර්ශන
මියගිය සැරයන්වරයාට මරණින් පසු උප පොලිස් පරීක්ෂක ධුරයක් සහ රුපියල් මිලියන 5.9ක අසාමාන්‍ය මුදල් ත්‍යාගයක් පිරිනැමීම පිළිබඳව මේ වන විට CID විමර්ශන ආරම්භ කර ඇත. එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ලබාදුන් බව කියන මෙම මුදල්වල නියම ප්රභවය කුමක්ද යන්න සෙවීම මෙහි අරමුණයි.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ බව කියන මාධ්‍යවේදියෙකුගේ නිවසට අසූචි ගැසීම වැනි තවත් නීතිවිරෝධී ක්‍රියා රැසක් පිළිබඳ තොරතුරු ඉදිරියේදී හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.