බාල බෙහෙත් සිද්ධියේ කරුණු රැසක් හෙලිවෙයි.

laws

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ආනයනය කළ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් (Human Immunoglobulim & Rituximab) යන ඖෂධ දෙක ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ යම් ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ අවස්ථාවේදී පොලිසියට පැමිණිලි කිරීමට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු වගකිව යුතු ආයතනවලින් නිසි සොයාබැලීමක් කරන ලෙසට එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දොළොස්වන චූදිත තමාට උපදෙස් ලබාදුන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ සහකාර ඖෂධ ඇගයීම් නිලධාරිනි නිෂානි ලංකා කරුණාතිලක මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් ඊයේ (19දා) ප්‍රකාශ කළාය.

එකී ඖෂධ ආනයනය කිරීම සඳහා ඖෂධ ඇගයිම් කමිටුව විසින් සහතික නිකුත් කර ඇති දැයි සොයාබලන ලෙසටත්, ඒවා නිෂ්පාදනය කළ බව කියන ඉන්දියානු සමාගමෙන් සොයාබලන ලෙසටත් දොළොස් වන චූදිත ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාත්මක වූ තමා ඒ පිළිබඳව සොයාබැලීමක් කළේ යැයි ද දොළොස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා නැඟූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පැවැත්විණි.

නීතිඥ චමින්ද සහ නි.සොලිසිටර් ජෙනරාල් අතර උණුසුම් වාදයක්

නීතිඥ චමින්ද අතුකෝරළ මහතා සාක්‍ෂිකාරිය අමතමින්: ඔබට අවබෝධයක් තිබෙනවා නේද ප්‍රශ්නගත පෙර මා කියූ ඖෂධ දෙක ගැන. ඔබ එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කීපයක්ම දුන්නා කියලා මූලික සාක්‍ෂි මෙහෙයවීමේදී ඔබ කිවානේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබගෙන් ප්‍රකාශ සටහන් කරන විට ඒ පිළිබඳව ඔබට කියන්න ඇති කියලා මා යෝජනා කරනවා.

සාක්‍ෂිකාරිය: ඔව් ස්වාමිනී

වි/නීතිඥවරයා: අද විත්ති කූඩුවේ සිටින 12 වන විත්තිකරු තමයි ඔබට උපදෙස් දුන්නේ ප්‍රශ්නගත එකී ඖෂධ ගැන සොයා බලන්න කියලා?

සාක්‍ෂිකාරිය: ඔව් ස්වාමිනී. ඔහු කළ දැනුම්දීම අනුව මම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කතා කරලා බලලා එතුමාට කීවා එම ඖෂධ දෙකට අදාළව ඖෂධ ඇගයීම් කමිටු වාර්තා ලබා දී නොමැති බව කීවා. ඒවා ආනයනය කිරීම සඳහා අයැදුම් පත්‍ර ලැබී නොමැති බවත් මා ඔහුට කීවා. නිෂ්පාදිත සමාගම ගැන සොයාබලන ලෙසට ඔහු ලබාදුන් උපදෙස් අනුව මා ඒ පිළිබඳව සොයාබලා එවැනි ඖෂධයක් ඉන්දියාවේ සමාගමෙන් නිෂ්පාදනය කර නොමැති බවත් මා එතුමාට කීවා.

වි/නීතිඥවරයා: ඖෂධ නියාමන අධිකාරියට යම් ඖෂධයක් ලියාපදිංචි කිරීම සඳහා අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කරන විට ඒ සඳහා යම් රැඳවුම් ගාස්තුවක් ගෙවීමට අවශ්‍යයි නේ. එකී ගාස්තුව ගෙවා ඇති බවට ඔබ සොයාබැලීමක් කළාද? එය සොයා බලන්න ඕනේ මුදල් අංශයෙන් කියා ඔබ ඔහුට කීවාද?

සාක්‍ෂිකාරිය: මට ඒ ගැන දැනීමක් නෑ.

වි/නීතිඥ චමින්ද අතුකෝරාල මහතා : 12 වන චූදිත යටතේ සේවය කළ පරිපාලන නිලධාරිනී මනෝජා ප්‍රියංගනි මහත්මිය මගින් ඒ පිළිබඳව 2023.10.03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔබට දැනීමක් ඇති කියලා මා යෝජනා කරනවා.

සාක්‍ෂිකාරිය: ඒ පිළිබඳව මට දැනීමක් නෑ.

වි/නීතිඥ: 12 වන චූදිත එකී ඖෂධ වර්ග දෙක නිකුත් නොකර වෛද්‍ය සැපයුම් අංශයේ රඳවා තබාගැනීමට වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට 2023.09.21 වැනිදා නියෝග කොට තිබූ බව ඔබ දන්නවා ඇතැයි මා යෝජනා කරනවා. ඔබ ඒ ලිපිය දැකලා තියෙනවාද?

සාක්‍ෂිකාරිය: ඒ ගැන මම දන්නේ නෑ. එම ලිපිය මම දැකලා නෑ.

වි/නීතිඥවරයා: ඔබ වර්තමානයේ සේවය කරන ඖෂධ ඇගයීම් අංශයේ රාජකාරි භාරගන්නා අවස්ථාවේදී එකී අංශයට අදාළ කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා එකී කටයුතුවලට අදාළ ලිපිගොනු ලේඛන අධ්‍යයනය කළ බව ඔබ සාක්‍ෂි දෙමින් කීවානේ. ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකා ඔබ දැකලා ඇතිනේ? මෙම ලේඛනය අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකාවක් සහ ඒ සමග අමුණා තිබූ මෙමෝ සටහන් පත්‍රයක් කියලා ඔබට හඳුනාගන්න පුළුවන්ද? 12 වී 1 ලෙස ලකුණු කර තිබෙන්නේ අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකාවක් කියලා ඔබ පිළිගන්නවාද?

විත්තියේ නීතිඥවරයා අධිකරණ භාෂණ පරිවර්තකවරිය මගින් අංක හය ගොනුවේ 126 (0) ලෙස ලකුණු කර තිබූ ලේඛනය සාක්‍ෂිකාරියට ඉදිරිපත් කරයි.

වි/නීතිඥවරයා: එම ලේඛනය ඔබගේ කේත අංකය ඇතුළත් කර යොමු කළ ප්‍රතිග්‍රාහක ලිපියක් නේද? එහි අත්සන් කර තිබෙන්නේ එම සමයේ 12 වන චූදිත විදේශගතව සිටීම නිසා ඔහුගේ රාජකාරි ආවරණය කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් ප්‍රියදර්ශන මහතා බව ඔබ පිළිගන්නවාද? ඔබ විෂය පිළිබඳව හැදෑරූ වෘත්තියවේදිනියක්. ඔබ දන්නවා ඇතිනේ විෂයට අදාළ තාක්ෂණික වචන. පෙරකියුටින් ගුඩ්ස් ලෙසින් හඳුන්වන්නේ මොනවාද? මම සරලව ඇසුවොත් එමගින් හඳුන්වන්නේ ඖෂධ වෛද්‍ය උපකරණ දේවල් කියලා ඔබ පිළිගන්නවාද?

සාක්‍ෂිකාරිය : ඔව් ස්වාමිනී. සමහර ඖෂධ වර්ගත් එම ගණයට අයත් වෙනවා.

වි/නීතිඥවරයා : 2022.09.16 පැවති අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකාව හා එයට අමුණා තිබූ මෙමෝ පත්‍රය තමයි 12 වී 1 ලෙස ලකුණු කර ඇත්තේ කියන එක බවට පිළිගන්න පුළුවන්ද?

සාක්‍ෂිකාරිය : ඔව් ස්වාමීනි

වි. නීතිඥ චමින්ද අතුකෝරළ මහතා : මේ සංශෝධිත අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකාවේ ජයිකා ව්‍යාපෘතිය හා ආසියානු සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු හදිසි ප්‍රසම්පාදන ක්‍රමවේද යටතේ ඖෂධ ආනයනය කිරීමට අදාළව නේද සඳහන් කර තිබෙන්නේ. එවැනි ඖෂධ ගෙන්වීමේදී ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේද තියෙනවා කියා මා යෝජනා කළොත් ඔබ ඒක පිළිගන්නවාද?

සාක්‍ෂිකාරිය : ඔව්. අදටත් ඒ ක්‍රමවේද තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය: මට ඒ හරස් ප්‍රශ්න ගැන නිවැරදි කිරීමක් කරන්නට තිබෙනවා. 12 වන චූදිතගේ නීතිඥ මහතා ඇසුවා ඔහු ඉදිරිපත් කළ අධ්‍යක්‍ෂ මණ්ඩල සටහන් හා මෙමෝ පත්‍රය ගැන. ඔබට අවබෝධයක් තිබෙනවාද? ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන ආකාරය පිළිබඳ? ඔබ එම රැස්වීම්වලට ගිහින් තියෙනවාද? එවැනි අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් සාකච්ඡා ඔබලාට ලැබෙන්නේ ඊමේල් මාර්ගයෙන් කියලනේ ඔබ පෙර සාක්‍ෂි දුන්නේ. ඊමේල් ලැබෙන තුරු ඔබ දන්නේ නෑනේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළේ වෙන සාකච්ඡා පිළිබඳව? එවැනි අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් යාවත්කාලීන කිරීම් ගැන ඔබ දැනුවත්ද?

සාක්‍ෂිකාරිය : මම ඒ බව දැනගන්නේ ඊමේල් පණිවිඩ ලැබුණාට පසුවයි.

නි.සො.ජෙනරාල්වරිය : ඔබගෙන් 12 වන විත්තිකරුගේ නීතිඥ මහතා ඇසුවා ප්‍රශ්නගත ඖෂධ නිෂ්පාදනය කර ඇති ඉන්දියානු සමාගම ගැන සොයාබලන්න කියලා 12 වන විත්තිකරු ඔබට උපදෙස් දුන්නා කියන කාරණය ගැන. ඒ වගේම එම හියුමන් ඉමියුනොග්ලෝබියුලින් හා රිටොක්සිමැබ් කියන ඖෂධ දෙක රඳවා තබාගැනීමට එම විත්තිකරු උපදෙස් ලබාදීමක් ගැනත් ඇසුවා. එම ලිපි දෙක ගැන කතා කරන්න ඔබට අවබෝධයක් තියෙනවාද? ඖෂධ සුරක්‍ෂිත කමිටුව විසින් කළ යුතු රාජකාරි කටයුතු ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද?

සාක්‍ෂිකාරිය : නැහැ ස්වාමීනි.

නි.සො.ජෙනරාල්වරිය : 12 වන විත්තිකරු මනෝජා නමැති පරිපාලන නිලධාරිනිය මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔබ දන්නවාද කියලත් විත්තියේ නීතිඥ මහතා ඇසුවා. ප්‍රශ්නගත ඖෂධ දෙක ගැන 2023.10. මස ඖෂධ සුරක්‍ෂිත කමිටුව මගින් උපදෙස් ලබාදීමක් ගැන ඔබට අවබෝධයක් තිබුණාද?

නීතිඥ චමින්ද අතුකෝරළ මහතා : මම සුරක්‍ෂිත කමිටුවක් ගැන මෙම සාක්‍ෂිකාරියගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවේ නෑ. ඒ නිසා පැමිණිල්ලට බෑ මම අහපු නැති කරුණක් ගැන සාක්‍ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න අසන්න.

අධිකරණය : එම කරුණු ගැන නිසි ක්‍රමවේදයට අසන්න. මේ විදියට අහන්න එපා.

නි.සො.ජෙනරාල්වරිය : නෑ ස්වාමිනි. විත්තියෙන් මේ සාක්‍ෂිකාරියගෙන් විවිධ කරුණු ගැන හරස් ප්‍රශ්න ඇසුවා. එකී කරුණුවලට පිවිසීමටයි මම එම ප්‍රශ්නය ගැන සාක්‍ෂිකාරියගෙන් නැවත ප්‍රශ්නයක් ඇසුවේ.

නි.සො.ජෙනරාල්වරිය– ඔබතුමා ඔබතුමාගේ සීමාව ඉක්ම යනවා

නීතිඥ චමින්ද අතුකෝරළ-හයියෙන් කතා කරලා විත්තිය බය ගන්වන්න හදන්න එපා

විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා : දැන් ගරු අධිකරණය ඒ ගැන නියෝගයක් දීලයි තියෙන්නේ. අධිකරණය දුන් නියෝග අනුව කටයුතු කරනවා මිස එකී නියෝගය ගැන නැවත විග්‍රහ කරන්න පැමිණිල්ලට බැහැ. අධිකරණය ලබාදෙන නියෝගවලට අපි කවුරුත් අවනත වෙන්න ඕනෑ.

නි.සො.ජෙනරාල්වරිය : විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා දෙසට හැරී ඔබතුමා ඔබතුමාගේ සීමාව ඉක්ම යනවා. මම විනිසුරු මඬුල්ලට ඒ ගැන පහදා දීමටයි හැදුවේ.

නීතිඥ චමින්ද අතුකෝරළ මහතා : ඔය විදිහට හයියෙන් කතා කරලා විත්තිය බය ගන්වන්න හදන්න එපා. ඔහොම හයියෙන් කතා කරන්න ගිහින් මහාධිකරණයේදී සිද්ධ වුණ දේ මතකයි නේ? පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ලකුණු කර ඇති පළමු වන විත්තිකරු විසින් 2025.06.03 දින ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කළැයි කියන අංක CUS/ICT/STATE/3084 දරන ඖෂධ ඇගයීම් කමිටු සහතිකය ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ සහතිකයක් නොවන බවත්, එම සහතිකයේ ආකෘතියද ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන සහතිකවල ආකෘතිය අනුව සකස් කර නොමැති බවත්, එම සාක්‍ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය නැඟූ නැවත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පැවසුවාය. තුන්වන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්‍ෂිකා පීස් දේවශාන්තිනි සොලමන්ස් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා එහිදී එම සාක්‍ෂිකාරියගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න නගමින් ඖෂධ නියාමන අධිකාරියේ වගකීම වනුයේ ගුණාත්මක තත්ත්වයෙන් යුත් ඖෂධ මිලදී ගැනීමට වගබලා ගැනීම නොවන්නේ දැයි විමසා සිටියේය. එමෙන්ම වෛද්‍ය සැපැයුම් අංශයේ වගකීම වනුයේ රටට අවශ්‍ය ඖෂධ තොග පවත්වාගෙන යෑම හා බෙදාහැරීම නොවන්නේ දැයි විත්තියේ නීතිඥවරයා සාක්‍ෂිකාරියගෙන් විමසා සිටි අතර තමන්ට ඒ පිළිබඳව දැනීමක් නොමැති බව සාක්‍ෂිකාරිය එම පැනයට පිළිතුරු දෙමින් පැවසුවාය. විත්තියේ නීතිඥවරයා එම සාක්‍ෂිකාරියගෙන් ඇයට අදාළ නොවන විෂයයක් පිළිබඳව හරස් ප්‍රශ්න සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරුද්ධත්වය දැක්වූ අතර සාක්‍ෂිකාරියගේ විෂය පථයට අයත් නොවන කරුණු ගැන සාක්‍ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න නොඅසන ලෙසට සභාපති විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට අවවාද කළේය. පුරා දින අටක් තිස්සේ සිදුකළ එම සාක්‍ෂිකාරියගේ සාක්‍ෂි විමසීම ඉන් අවසන් කළ අතර ලබන 23 වැනිදා දක්වා සාක්‍ෂි විභාගය කල් තැබූ විනිසුරු මඬුල්ල පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ 33 වන සාක්‍ෂිකාරිය වන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඖෂධවේදිනියක ලෙස රාජකාරි කරන අමිලා කුමාරි ඒකනායක මහත්මියට හා පැමිණිල්ලේ 52 වන සාක්‍ෂිකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී අයන්ත සඳරුවන් අබේවික්‍රම මහතාට සිතාසි යැවීමට නියෝග කළේය.