මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඊයේ (24) පස්වරුවේ දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද විශේෂ දුරකථන සංවාදයක නිරත වූ බවත්, එහිදී ගෝලීය සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා.
මැදපෙරදිග පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී අදහස් හුවමාරු කරගත් අතර, එමගින් ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති බලපෑම් සහ සැපයුම් දාමයන්හි බාධාවන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ බවයි එහි සඳහන්වන්නේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ප්‍රධාන වැඩපිළිවෙළවල්වල ප්‍රගතිය පිළිබඳව නායකයින් දෙපළ සමාලෝචනයක නිරත වුණ බව සඳහන්.
එමෙන්ම කලාපීය ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.