මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි! පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් කෙරේ!

මන්ත්‍රී විශ්‍රාම වැටුප

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පත රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙතැන් සිට මෙය “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” ලෙස හඳුන්වන අතර 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙමගින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබේ.

මෙම පනත ක්‍රියාත්මක වන දිනයේ සිට, දැනට විශ්‍රාම වැටුප් ලබන හෝ ලැබීමට හිමිකම ඇති කිසිදු තැනැත්තෙකුට මින් ඉදිරියට එම ගෙවීම් සිදු නොකෙරේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

1982 සහ 1990 වසරවල සංශෝධිත පනත් යටතේ විශ්‍රාම වැටුප් ලැබූ සියලුම හිටපු මන්ත්‍රීවරුන්ට ද මෙලෙස විශ්‍රාම වැටුප් අහිමි වනු ඇත.

කෙසේ වෙතත් පෙර තිබූ විශ්‍රාම වැටුප් වරප්‍රසාදයට අනුව වසර පහක් මන්ත්‍රී ධුරය දැරීමෙන් පසු ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකියාව ලැබී තිබිණි.