නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව වූ 25 හැවිරිදි සුරූපී Amelia Kerr

New Zealand cricket captain Amelia Kerr

නවසීලන්ත කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සුපිරි ක්‍රීඩිකා ඇමෙලියා කර් (Amelia Kerr) නවසීලන්ත කණ්ඩායමේ නායිකාව ලෙස නිල වශයෙන් නම් කර තිබේ.

25 වැනි වියේ පසුවන ඇය, වත්මන් ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ සිටින දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස සැළකේ. මින් පෙර නායිකාව ලෙස කටයුතු කළ සොෆී ඩිවයින්ගෙන් (Sophie Devine) පසු එම වගකීම ඇමෙලියා වෙත පවරා ඇත්තේ කණ්ඩායමේ ඉදිරි ගමන සඳහා තරුණ නායකත්වයක් අත්‍යවශ්‍ය මොහොතකයි.

කුඩා කල සිටම ජාත්‍යන්තර පිටියට පිවිස දක්ෂ පා දඟ පන්දු යවන්නියක මෙන්ම ස්ථාවර පිතිකාරිනියක ලෙස ලොව පුරා ප්‍රසිද්ධ මැය වයස අවුරුදු 17 දී එක්දින තරගයක නොදැවී ලකුණු 232ක් රැස් කරමින් තැබූ වාර්තාව අදටත් කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ ඉහළින්ම පවතී.

ක්‍රිකට් විචාරකයින් පවසන්නේ ඇමෙලියාගේ ක්‍රීඩා විලාසය තුළ පවතින සන්සුන් බව සහ තීරණ ගැනීමේ හැකියාව නවසීලන්ත කණ්ඩායමට ඉදිරි ලෝක කුසලාන තරගාවලි වලදී මහත් ශක්තියක් වනු ඇති බවයි.

“මෙය මගේ ක්‍රීඩා ජීවිතයේ ලැබූ විශාලතම ගෞරවයක්. කණ්ඩායම නව මානයකට රැගෙන යාමට මම උපරිමයෙන් කැප වෙනවා.” – ඇමෙලියා කර්