පැතුම් මල්පල ගැණුනු පල්ලෙකැලේ සැනකෙළිය

pathum nissanka copy

ශ්‍රී ලංකා පිල කන්ද උඩරට සටනට එන්නෙ ලොකු තුරුම්පුවක් ගිලිහුණු කාඩ් කුට්ටමක් එක්ක. වනිදු හසරංග නොමැතිව.

කාසිය දසුන්ගේ අණට අවනත උනත් වාසිය හිටියේ වෙනතක. පන්දු හතරකට පමණක් අත කරකැවූ මතීශ පතිරණගේ සේවය නිමාවන්නේ වේදනාව උහුලන දණහිසක් සමගින්.

ඕස්ට්‍රේලියානු පිළට තම සුපුරුදු නිත්‍ය නායකයාගේ සෙවනැල්ල පතිත වීම විශාල හයියක්.

2024 අගභාගයේ සිට විස්සයි විස්සේ අඩ ශතකයක සැමරුමක් නොවූ ට්‍රැවිස් හෙඩ් ඒ අඩුපාඩුව ශ්‍රීලංකාවේ කදු පන්ති අතරේදී සමරන්නේ සුවද විලවුන් මතකයක උත්කර්ශය රැගෙන එමින්.

පලමු කඩුල්ල වෙනුවෙන් කැන්ගරු පිතිකරුවන් තනන මහා පවුර ඉලක්කම් තුනකින් සමන්විත එකක්. ටක්කෙටම කිව්වොත් 104ක්. ඒ ආයෝජනයට ඔවුන් වියපැහැදම් කරන්නේ පන්දු අර්ධ ශතකයකුත් තවත් එකක් පමණයි. 51යි. ඒක ගිනිකෙලිවලින් සපිරුණු සැණකෙලියක්.

නමුත් ගිනිකෙලි සන්දර්ශණය ගිනිගෙඩියක් බවට පත්වන්නේ නිමේෂයකින්. ඉදිකටු තුඩකින් රිංගා විත් ඉන්පසු ඕස්ට්‍රේලියානු කූඩාරමම ඔසවා නැගිටින දසුන් බලකාය එතැන් සිට සැරසෙන්නේ සමූල ඝාතනයකට.

දුශාන් හේමන්ත එහි මූලාරම්භකයාගේ භූමිකාවට පන පොවද්දි චමීර, වෙල්ලා, මහීෂ් පමණක් නොව කමිදුත් මේ මල්වට්ටියට දෑතම තබන්නේ අනපේක්ෂිත ප්‍රහාරයක වික්ෂිප්ත බවෙන් ඕස්ට්‍රේලියානු කදවුර සලිත කරමින්.

කල්ඇතුව ඉහල නැගි මැක්ස්වෙල්ගේ උඩපන්දුවක් නිස්සංකගේ අත් මැදින් දෝරගලන්නේ ගුරුත්වයට ගරු කරමින්. නමුත් ඊළග අවස්ථාවේ මැක්ස්වෙල්ට ක්‍රීඩාගාරයට යන මාවත පෙන්වූ නිස්සංක එවර ගගනගාමී උඩපන්දුව රැකගන්නේ ගුරුත්ව නියමයට නිගරු කරමින්. ඒ වගේම අද හොද කස්තිරමකට තමන් සූදානම් බවට ඉගි පලකරමින්.

634957057 1495286579268180 3549173774592364164 n

අවසන් පන්දුවාර අට තුල ඕස්ට්‍රේලියානු ඉනිමට අත්වන්නේ හිරෝෂිමාමය ඉරණමක්. මොහොතකින් සුන්නද්දූලි වී ගිය ඉනිමේ අවසන් අගය 181ක්. මහගිරිදඹ කරුණාවට සැරසුණු ගමනක් ගෙත්තම්පානේදී අහවර වූ හැටියක්.

ශ්‍රීලංකාව තම භූමිය තුලදී කිසිම අවස්ථාවකදී හඹානොගිය විශාල ලකුණු පුවරුවක් පාමුල.

මිශාරගේ ආදේශකය වූ කුසල් ජනිත් මිශාර මොඩියුලයේම දැවීයාමකට ලක්වන්නේ ශ්‍රීලංකා සුපිරි අටේ බලාපොරොත්තු ඩොටේ තබන අතරවාරයේ.

නමුත් මේ ලෝක කුසලානයේ තම අර්ධ ශතක හැට්‍රික් කඩයිම සපුරන කුසල් පසක් කරන්නේ මෙන්ඩිස් යනු හොදට වදින බ්‍රෑන්ඩ් එකක් බව සනාථ කරමින්.

තරග කිහිපයක් පුරා ගොත ගසමින් තිබූ නිස්සංකගේ පිත්තද හරි හරියට දොඩමළු වීමට පටන් ගැනීම දෙදෙනා අද ලොකු කයියකට සැරසෙන බවට හොදම සාක්ෂිය වුනා.

ලකුණු 97ක් වෙනුවෙන් දිග්ගැස්සුණු ඒ කතාබහ ඇසින් ශ්‍රවණය කල යුතුම කතා සරිත් සාගරයක්. පන්දු 66ක තීන්ත පින්තාරුවකින් ඇඳි සොදුරු සිතුවමක්. දඩබ්බර පින්සල් පහරවල් හැම තැනම.

eqs4i4m8 pathum nissanka 625x300 26 november 25

ජයග්‍රහණයේ මූලික ප්‍රාග්ධනය සපයා දී මෙන්ඩිස් ව්‍යාපෘතියෙන් නික්ම යන්නේ අළුත් මිනින්දෝරුවාට පිටියේ හතර කොන මනින වගකීම පවරමින්. ඔහු සැඩසුළගක් බදු පවන්. පවන් රත්නායක.

වගකීම නිසිලෙස බාරගත් පවන් පිටියේ වර්ගඵලය මනින්නේ හතරේ පහර හයකින්.

ඒ සියල්ල අතරේ මේ මහා ඉදිකිරීමේ ප්‍රධාන ඉංජිනේරු තැන තම රාජකාරියට පනපොවන්නේ සුපුරුදු මුනිවතින්. ඒ මුනිවත ඔහු බිදින්නේ කටකාර පිත්තෙන්. මේ තරගමාලාවටම අඩුවක් වූ ශතකලාභී පිතිකරණ ලිපිගොනුව ඇරඹෙන්නේ නිසංසල නිස්සංක නාමකරණයක් සමගින්.

එය නිකම්ම නිකං ශතකයක් පමණක්ම නොවේ. එය සියළු අලංකාරයන් සපිරි මතකයක්. සියල්ලෙන් ගැවසීගත් පිරුණු ප්‍රතිභාවක්. සිඩ්නිය කැළඹූ ඔපෙරාවක්.

විස්සයි විස්සේ ලෝක කුසලාන ඉතිහාසය තුල සිංහ සෙයියාවට කැන්ගරුවන් අවනත වී තිබුනේ එකම එක වරක් පමණි. නමුත් දැන් දෙවරකි.

මේ පරාජය ඔවුන්ට ඉතා සාහසික අත්දැකීමක් වන්නේ කඩුළු අටක් කරේ තබාගෙන තව පන්දු දොලහකුත් ඉනේ ගසාගෙන ලාංකිකයෝ තරගය හමාර කල බැවිනි.

කැන්ගරුවන්ට සුපිරි අටට යාමට ඉඩක් තිබේ. ඒ සදහා අශ්වයා කන්ථක විය යුතුය. නේරංජාවෙන් පැනගත යුතුය. අන්තිමේදී ළය පැලී මිය යා යුතුය. සමහර විට ජන්න ඇමතියා ආපසු කිඹුල්වත්පුරට නිරුපද්‍රිතව යා යුතුය.

මෙවර කුසලානයට අන්තිමටම සංචිතය නම් කල ශ්‍රී ලංකාව සුපිරි අට සංයුතියට ගොඩවදින්නේ තව තරගයක් එහෙම පිටින්ම අතැතිව සිටිද්දීය.

ජයග්‍රහණයෙන් නිලංකාර නොවී මනා සිහියෙන් සිදුරු පිරියම් කරමින් යාත්‍රාව දියත් කිරීම දසුන් බලකායට දැන් ඉතින් උරුම කාරණයකි.

සහයක ආරම්භක පිතිකරුවා කවුරුන්ද? මිශාර හෝ කේජීපී හෝ නිවැරිදිම පිලිතුර ලෙස සලකා යටින් ඉරක් ඇඳීම තවම අන්විශ්වාසබල් ය.

මතීශ පතිරණගේ දණහිසට නීරෝගී දෙවි දේවතාවෙක් බැළුම් හෙලිය යුතුය.

වෑල් කර හරි හැටි නොපියවී හුළං කාන්දු වන පොඩි පොඩි තැන් කිහිපය ටක්කෙට පැච් කලහොත්…. බොහෝ ප්‍රතිවාදීන්ට අයියනායක දෙයියන්ගේම සරණය.

ජයග්‍රහණයේ සන්තෘෂ්ඨිය අනතුරු සහිතය, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

දිනේෂ් උපේන්ද්‍ර