මෙකක්ද මේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (PCID)

Proceeds Of Crime Investigation Division

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (PCID) ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) දින විවෘත්ත කරන ලදී.

මෙම ඒකකය මෙරට පුරවැසියෙකු වත්කම් උපයා ගත් ආකාරය සැක සහිත නම් ඔහුගේ හෝ ඇයගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාත්, එම ඉපැයීම අනීතිකව සිදුකර ඇත්නම් එම දේපල රාජසන්තක කීරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ නීතිමය පියවර ගැනීම සඳහාත් ස්ථාපිත කර ඇති අතර එම නව කොට්ඨාසය අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (Proceeds Of Crime Investigation Division – PCID) ලෙස නම්කර ඇත.

2025.05.27 වන දින අංක 2438/51 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙන් 2025.06.01 දින සිට බලාත්මක වූ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළීබඳ පනත යටතේ ශ්‍රී ලංකා පොලිසියට හිමිවන බලතල සම්බන්ධව මූලිකව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට මහතා මෙම නව කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත්කරන ලදී.

මත්ද්‍රව්‍ය වෙළඳාම, සංවිධානාත්මක අපරාධ හෝ වෙනත් අනීතික අපරාධමය ක්‍රියාවකින් යමෙකු නිශ්චල චංචල දේපල, මුදල් උපයාගෙන ඇති බව ‍අනාවරණය වුවහොත්, මෙරට සහ විදේශයන්හි භාවිත කෙරෙන එම දේපල සහ මුදල් රාජසන්තක කිරීමේ සීමාවෙන් එපිටට එම අපරාධයෙන් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් වෙත එම වටිනාකම බෙදාහැරීමට අදාළ පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව මෙම කොට්ඨාසයට හිමිකර තිබීම විශේෂත්වයකි.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා පොලිසියට ඉහල බලයක් හිමිකර තිබෙන අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත යටතේ මෙම නව කොට්ඨාසයේ විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විටත් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 46 දෙනෙකු අනුයුක්ත කර ඇති අතර විමර්ශන සිදුකිරීමේ බලය පොලිස් පරීක්ෂක ශ්‍රේණියට පමණක් පනතෙන් ලබා දී ඇත. ඔවුන්ගේ සහය සඳහා කණිෂ්ඨ නිලධාරීන් අනුයුක්ත කෙරෙනු ඇත.

මෙම පනත යටතේ චෝදනාවට ලක්වන යම් සැකකරුවෙකු හෝ සැකකාරියක් අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරනු ලබන නඩු පැවරීමක දී අධිකරණය හමුවේ තමන්ගේ නිර්දෝෂීභාවය සාධාරන සැකයෙන් ඔබ්බට, එනම් (50%) සීමාව අභිබවා ඔප්පුකිරීමට අසමත් වුවහොත් ඔහු හේ ඇය ඇප මත නිදහස් වුවද අනීතිකව උපයාගත් බවට සැකකරන මුදල් හා දේපල රාජසන්තක කිරීමට හෝ වින්දිත පාර්ශ්ව වෙත යොමු කිරීමට පියවර ගැනීමට හැකියාව ඇත.