සජබ, එජාප, ශ්‍රීලනිප එන්න! මේ සර්පයාට කිරි පොවන්න!

583049460 10162966306273190 4470333196367945822 n

මාලිමා රජය බලයට පත් වුණ දා පටන් එල්ල වුණ චෝදනාවක් තමයි, ඔවුන් යම් ආකාරයක ඒකපාක්ෂික රාජ්‍යයක් ගොඩනගන්න උත්සාහ කරනවා ය යන්න. ඒක හිතා මතා ම කරනවා ද, නැත්නම් අවිඥානික ව කරනවා ද යන්න අදාළ නෑ. කෙසේ හෝ, ප්‍රාදේශීය සභාවේ පටන් ගමේ තරුණ සමිතිය දක්වා මාලිමා කාඩර්ලාගෙන් පිරවෙන මට්ටමක් ආපු බව අපි පිළිගන්න ඕන.

මේකට විපක්ෂයේ පිළිතුර වුණේ “ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පරදවමු” කියන සටන්පාඨය. ඒ යටතේ මෙතෙක් කල් නයි මුගටින් සේ කා කොටා ගත් අලි, පොහොට්ටු, ටෙලිෆෝන්, අත්, පදක්කම්, පංචායුධ ආදී සකලවිධ පාර්ශ්වයන් එකට එක් වෙන්න පටන්ගත්ත.

ඒ වෙලාවෙදි පවා අපි ඉතා ම තදින් කිව්වෙ, පොහොට්ටුව මේකට ගාවගන්න එපා යන්න. මොකද පොහොට්ටුව ගැන විපක්ෂයෙ අනෙක් පක්ෂවලට ඒ කාලෙ තේරුණේ නැති දෙයක් අපිට මතක තිබුණ නිසා. එදා විපක්ෂයෙ අනෙක් පක්ෂවලට නොතේරුණ දේ තමයි පොහොට්ටුව සතුව ජනඝාතක පරමාණුක අවියක් තිබෙන බව.

ඒ තමයි ජාතිවාදය. ආගම්වාදය.

මගේ කියවීම වුණේ, නාමල් සජිත්ලා වජිරලා සාගලලා විමල්ලා දිලිත්ලා ගම්මන්පිළලා එක්ක හුරතල් වෙන්නෙ 2028 වෙනකල් විතරයි, 2027 අග වෙද්දි නාමල් ඔය සේරට ම රෙද්ද උස්සලා පස්ස පෙන්නලා තනියෙන් දුවනවා යන්න. කියන්න දුක නෑ මට වැරදුණා. ජාතිවාදී කාඩ් එක අදින්න 2027 වෙනකල් ඉන්න වුණෙත් නෑ. ඔන්න 2025දී ම ඇදලා.

ඇයි පොහොට්ටුව ජාතිවාදය අදින්නෙ? ආණ්ඩුව පෙරළුණාම මදි ද?

මදි. ඒකයි කතාව. මීට කලිනුත් වරක් කිව්වා වගේ, මාලිමාව ෆේල් වුණොත් බලය යන්නෙ කාට ද කියන එක දෙකට බෙදුණ තීරණයක්.

ආණ්ඩුව ෆේල් වෙන්නෙ ආර්ථික ව නම්, බලය යන්නෙ සජබ, එජාප ආදී දක්ෂිණාංශික කඳවුරට. ලංකා ඉතිහාසෙ හැම දා ම වගේ, අපේ මිනිස්සුන්ට “දකුණ” ඕන වෙන්නෙ බඩට කන්න ටික නැතුව සෝපොත්තට ගියාම විතරයි. ජේ.ආර්. ලොක්කා 77 77දී බලයට ආපු හැටි හෙම මතක් කරගමු. එතනදී නාමල්ට නෝ චාන්ස්. මොකද නාමල් ඇවිල්ලා ආර්ථිකේ හදයි කියලා හිතන්න තරම් මඤ්ඤං ස්වභාවයක් කාටවත් නැති නිසා.

නාමල්ට සහ ඔහු අයිති වෙන ගතානුගතික, ගෝත්‍රික, ජාතිවාදී, ආගම්වාදී කඳවුරට බලය යන්න නම් ආණ්ඩුව හුදෙක් ෆේල් වෙලා මදි. ඒ ෆේල් වීම හරහා රටේ ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය, සහ විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය අනතුරේ වැටෙන්න ඕන. මොකද සමස්ත ඡන්ද පදනමෙන් 70%කට එහා ඉන්නෙ සිංහල බෞද්ධයො. ඔවුන් තමන්ගෙ සංස්කෘතික උරුමයට දැඩි ව ආදරෙයි. නාමල්‍ය බලයට එන්න තියෙන එක ම ක්‍රමය, ආං ඒ සංස්කෘතික නාඩිය අල්ලන එක විතරයි.

454545

නැවත අවධාරණය කරනවා – මාලිමා රජය ෆේල් වීමෙන් ම පමණක් ආපහු පොහොට්ටුව ට බලය යන්නෙ නෑ. මාලිමා රජය ආර්ථික ව ෆේල් වෙන්නත් ඕන, ඒ එක්ක ම ඊට සමගාමී ව සංස්කෘතිය අනතුරේ වැටෙනවා වගේ පේන්නත් ඕන.

මෙන්න මේ නිසා තමයි අපි කියන්නෙ මේ සර්පයාට කිරි පොවන්න එපා කියල. මොකද මේකට විපක්ෂයෙ අනෙක් පක්ෂ ටික ඕන වෙන්නෙ මාලිමාව ෆේල් ය කියල ජනතාවගෙන් 30%-40%කට ඒත්තු ගන්වගන්න කල් විතරයි. ඒකෙ ක්‍රිටිකල් සීමාව 40%. ඕක පැනපු හැටියෙ අදින්නෙ ජාතිවාදී තුරුම්පුව. එදාට සජබ, එජාප ආදී පක්ෂවලට හුළං තමයි. ඊට පස්සෙ එන ඡන්දෙදි ජාතිවාදය හරහා බලයට ආවොත් ඊට පස්සෙ නාමල්ගෙන් මුලින් ම සබ්බුව හම්බ වෙන්නෙ මාලිමාවට නෙමේ, පොදු විපක්ෂයට. මතක් කරගන්න එජාප ඡන්දවලින් බලයට ආපු සිරිසේන මුලින් ම ෂොට් එක දුන්නෙ එජාපයට බව. ඒකෙ දෙවෙනි වටය මේක.

චමීර ජීවන්ත දෙද්දුවගේගේ ෆේස්බුක් ගිණුමෙනි