පක්ෂයේ වර්තමාන ගමන් මග පිළිබඳව සිය හෘද සාක්ෂිය බරපතල විවේචනයක යෙදෙන බවත්, සම්ප්‍රදායික පක්ෂ දේශපාලනය යනු හුදු ප්‍රහසනයක් පමණක් බවත්, ඊට වඩා පුළුල් ජාතික මෙහෙවරක් අවැසි මොහොත උදාවී ඇති බවත් පවසමින් වැලිගම හිටපු නගරාධිපති සහ එම ආසනයේ සමගි ජනබලවේගයේ සංවිධායක ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්‍රම සමගි ජනබලවේගයෙන් ඉල්ලා අස්වීමට තීරණයකොට තිබේ.
රෙහාන් ජයවික්‍රම යනු දිවංගත මංගල සමරවීර මහතාගේ දේශපාලන සමීපතමයෙකු ලෙස ප්‍රකට අතර මංගල සමරවීරද සමගි ජනබලවේගයෙන් ඉවත්වුණේ පක්ෂ දේශපාලනය, සමගි ජනබලවේගයේ වැඩපිළිවෙල පිළිබඳව නොසතුටිනි. එයින් ඉවත්වූ මංගල ‘ රැඩිකල් සෙන්ටර්‘ආරම්භ කොට මෙරටතුල අනාගතවාදී නව මතවාදයක් ගොඩනැගීමට ප්‍රමුඛ විය.
පහත දැක්වෙන්නේ රෙහාන් ජයවික්‍රම ලියා ඇති ඉල්ලා අස්වීමයි.
ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා,
නායක, සමගි ජන බලවේගයපක්ෂයේ වර්තමාන දිශානතිය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව හුදු පාක්ෂික දේශපාලනික දෘෂ්ටියකින් ඔබ්බට ගොස් ගැඹුරු ස්වයං විවේචනයක යෙදීමේදී, මාගේ හෘද සාක්ෂිය සහ පක්ෂයේ ගමන් මග අතර දැඩි දෘෂ්ටිමය විෂමතාවක් නිර්මාණය වී ඇති බව තේරුම් ගනිමි.
රාජ්‍ය නායකත්වයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ පවතින අර්බුද හමුවේ, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය හුදු අර්ථශූන්‍ය ප්‍රහසනයක් බවට පත්ව ඇති මොහොතක, එකී ව්‍යුහාත්මක සීමාවත් අතික්‍රමණය කොට වඩාත් පුළුල් වූත්, අපක්ෂපාතී වූත් ජාතික මෙහෙවරකට අවතීර්ණ වීම කාලීන ධර්මතාවයක් ලෙස මම දකිමි.
මාගේ පක්ෂය කෙරෙහි පවත්නා බැඳීම අභිබවා යන මාගේ දේශය කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන, ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයට එළැඹීමට මම අදහස් කළෙමි.
මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘ භූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලීන අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයත් පසෙකලා ගනු ලැබූ තීරණයක් බව අවධාරණය කරනු කැමැත්තෙමි.
එනයින්, අද දින සිට බලපැවැත්වෙන පරිදි සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වෙන බව මෙයින් දන්වා සිටිමි.
මෙතෙක් මා හට ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන අතර, මෙම තීරණය මාගේ සේවය වඩාත් අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන්, නිදහස් මනසකින් යුතුව ගත් තීරණයක් බව දන්වා සිටිනු කැමැත්තෙමි.
මෙයට,
විශ්වාසී,
රෙහාත් ධනුෂ්ක විජේරත්න ජයවික්‍රම,
වර්ෂ 2025 වූ, දෙසැම්බර් මස 6 වන දින,
වැලිගමදීය.