පසුගියදා නෙළුම් මාවත කාර්යාලයට තරුණ ගැහැනු ළමයි කණ්ඩායමක් පැමිණ සිටියහ. ඒ, නායකත්ව පුහුණු වැඩමුළුවක් සඳහාය. ආරම්භක දේශනය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ය.
“ඔයාලා වගේ සුන්දර තරුණ ළමයින් අපේ පක්ෂෙ එක්ක මේ තරම් ළඟින් වැඩ කරන එක ගැන ඇත්තටම අපට ආඩම්බරයි. මම කැමැතියි ඔයාලව හඳුනාගන්න…”
පිරිස තම තමන් හඳුන්වා දුන්හ. දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය, උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අය, පෞද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ සේවය කරන අය වගේම දේශපාලනය කරන සහ අලුතින් දේශපාලනයට එන්න කැමැත්තෙන් ඉන්න අයද එතැන සිටියහ.
“මම කතාවක් කරන්නෙ නෑ. මම කැමතියි ඔයාලගෙ අදහස් දැනගන්න.” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එසේ පැවසූ විට ගැහැනු ළමයින් පිරිස නාමල්ගෙන් ප්‍රශ්න වැලක් ඇසූහ. ඔවුන් විමසූ සැම විෂයකම ප්‍රශ්නවලට නාමල්ද හොඳින් උත්තර දුන්නේය.
“රටේ ආර්ථිකය වේගයෙන් ඉස්සහරට ගෙනියන්න නම් මුලින්ම කරන්න තිබෙන්නේ ආයෝජකයන් සහ ව්‍යවසාකයන් අධෛර්යවත් කරන්න අනවශ්‍ය කොන්දේසි වෙනස් කරන එකයි.” නාමල් එසේ කිවුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“ඔයාලා කවදහරි හිතල තියෙනවද සිංහයා කොහොමද කැලේ නායකයා වුණේ කියලා?” ඊළඟ දේශනය පටන් ගනිමින් සංජීව එදිරිමාන්න ගැහැනු ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. මඳ සිනාවක් නඟා පිරිස නිහඬ වූහ.
“කැලේ ලොකුම සතා අලියා වෙද්දි, රයිනෝ සිංහයාට වඩා ශක්තිමත් වෙද්දි, කැලේ උසම සතා ජිරාෆ් වෙද්දි, සිංහයා ඒ හැමෝගෙම නායකයා වුණේ කිසිම අභියෝගයකට සිංහයා බය නැති නිසා. කාව දැක්කත් මට එයාව පරාද කරන්න පුළුවන් කියලා සිංහයා විශ්වාස කරන නිසා.”
සංජීව එදිරිමාන්න ඒ කතාව ඉවර කළේ, පාර්ලිමේන්තුවේ ආසන තුනක් විතරක් තියාගෙන අභියෝග වැලක් මැද්දෙ වැඩ කරන නාමල්ගේ දේශපාලනය සිංහයාට සමාන කරමිනි.