භේද නැති රටක සිහිනය ජනපති යාපනේ දී කියයි

616037714 1467683851394506 5093787405163628374 n

කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත්, සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

7.2

පසුගිය වසර මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳs වසරක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩාපිටියේ පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවයට සහභාගි වෙමිනි. තෛපොංගල් උත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයා චාරිත්‍රානුකූලව පිළිගනු ලැබූ අතර, සංස්කෘතිකාංග රැසකින්ද මේ අවස්ථාව විචිත්‍රවත් විය. තෛපොංගල් සැමරුම සියලු දෙනාට නව අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කරන අවස්ථාවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු, පොහොසත් රටක් නිර්මාණය කරමින් දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීමට තිර අදිටනින් යුතුව පෙරට එන ලෙස සියලු දෙනාට මෙහිදී ආරාධනා කළේය.

තෛපොංගල් උත්සවය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

“දෙමළ ජනතාවගේ වැදගත්ම සංස්කෘතික දිනය වන තෛපොංගල් දිනයේදී මටත් ඔබ සමඟ එක් වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම දෙමළ ජනතාවගේ සංස්කෘතිය අනුව අද තමයි නව වසර උදා වන්නේ. නව වසරකින් අපි සියලු දෙනාට නව ප්‍රාර්ථනා, නව බලාපොරොත්තු ඇති වෙනවා. ඔබට විශාල බලාපොරොත්තු සහ අපේක්ෂා ඇති. රටක් ලෙස අපට නව බලාපොරොත්තු සහ අපේක්ෂා තිබෙනවා. අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු පොහොසත් රටක් නිර්මාණය කිරීමයි.

අපි පොහොසත් රටක් කියන්නේ ධනයෙන් ඉදිකිරීම්වලින් පමණක් පොහොසත් රටක් නොවෙයි.ඒ ඊට වඩා විශාල අංශ ගණනාවකින් පොහොසත් රටක් නිර්මාණයයි. අපි බලයට පත්ව දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතව තිබෙනවා. එම වසර ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම, ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැදි වසරක්. වෙනදා අපේ රටේ බොහෝ ජාතිවාදී ගැටුම්, ජාතිවාදී ප්‍රවණතා පැන නඟිනවා. අපට අවශ්‍ය ජාතිවාදයෙන් තොර ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක්.

616037714 1467683851394506 5093787405163628374 n

කුමන තැනක ඉපදුණත්, කුමන භාෂාව කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් මේ සෑම කෙනෙකුටම අපේ රටේ අභිමානවත් පුරවැසියෙක් ලෙස, අයිතීන් සමඟ ජීවත්වීමේ වටපිටාව සකස් කිරීම අපගේ අපේක්ෂාවයි. අප අතර විවිධ සංස්කෘතීන් තිබෙනවා. රටක් ලස්සන වීමට සහ ජනතාව අතර විශ්වාසය ඇති වීමට සෑම සංස්කෘතියකටම ගරු කිරීම සහ පිළිගැනීම ඉතා වැදගත්. අපි එවන් රටක් ගොඩනැඟිය යුතුයි. එය අපේ අපේක්ෂාවයි. ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් අපි උරුම කර දිය යුතුයි. හොඳ නිවසක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නීරෝගි ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය දියුණු කර හොඳ ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම, තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම ආණ්ඩුවක් ලෙස අපට තිබෙන අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි. මම දන්නවා මෙහි සිටින බොහෝ අය පසුගිය මහ මැතිවරණයේදී අප කෙරෙහි විශ්වාසය තැබුවා.

මේ යාපනයේ දිස්ත්‍රික්කය ලංකාවේ පළමු වතාවට අපි ජයග්‍රහණය කළා. ඒ කියන්නේ ඔබ අප කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මම ඔබට සහතික වෙනවා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳකින්වත් බිඳ වැටීමට ඉඩ නොතබා ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු රටක් නිර්මාණය කරනවා කියලා. ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා. අපි කාටත් සතුටින් සිටිය හැකි රටක් අපි හදනවා. ඔබ සියලු දෙනාගේ අපේක්ෂාව එයයි. එම අපේක්ෂාව ඉටු කිරීම වෙනුවෙන් අපි නොපිරිහෙළා වගකීම් ඉටු කරන බවට මම ඔබට සහතික වෙනවා.

තෛපොංගල් දිනයේදී අපි එක ප්‍රාර්ථනාවක් කරමු. අපි එක්ව සිටිමු. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වෙනුවෙන් තිර අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට එන ලෙස සියලුදෙනාට ආරාධනා කරනවා.”

616085818 1467683914727833 2318172970019138780 n
615819247 1467683754727849 7387557650403209802 n