ඉස්කෝලෙ යද්දි මට සපත්තු දෙකක් ගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒ නිසා සෙරෙප්පු දෙකක් දාගෙන ගියේ. ඒකත් අඩියටම ගෙවිල, හිල් හැදිල, ගල් ඇනෙන කොට; සෙරෙප්පු අයින් කරල ඉස්කෝලෙ ගියා. සෙරෙප්පු දෙකක් ගන්නවත් මගේ මවුපියන්ට වත්කමක් තිබුණෙ නැහැ. මොකද: අපේ පවුලෙ දරුවො දොළොස් දෙනෙක්.
“එහෙම දුක් විඳපු මම පස්සෙ කාලෙක නෝනගෙ රත්රන් බඩු ටික උකස් කරලා, මගේ ළඟ තිබුණු සල්ලිත් දාල ගත්ත 42 ශ්‍රී 1762 ලොරියෙන් පටන් ගත්ත ව්‍යාපාරය අවුරුදු 40කට පස්සෙ අද ලෝකෙම දන්න ව්‍යාපාරයක් දක්වා ගේන්න මට පුළුවන් වුණා.
“ඒකෙ රහස ඩඩ්ලි තියරිය…”
මොකක්ද මේ ඩඩ්ලි තියරිය?
“තමන්ගෙ වැරැද්ද ඉතාම සතුටින්, වුවමනාවෙන් භාර ගෙන; ඒ වැරැද්ද වුණ ආකාරය අධ්‍යයනය කරලා, නැවත ඒ විදිහෙ වැරදි අඩුපාඩු නොවෙන ආකාරයට කටයුතු කිරීම තමයි මගේ තියරිය.”
ඒ, ඩඩ්ලි තියරියයි.
ඩඩ්ලි සිරිසේන කියන්නේ අවුරුද්දකට වතාවක් විතර මෙරට මාතෘකාවක් වෙන චරිතයක්. ඔහුගේ ව්‍යාපාරවලට අමතරව ඔහු විසින් ගොඩනැඟූ ව්‍යාපාර භූමිකාව මේ සේරටම වඩා බලවත් වූවකි. අපට මෙවර ඔහු ගැන කතා කරන්න සිදුව ඇත්තේ ලෝකයේම කතාබහට ලක් වුණු රෝල්ස් රොයිස් අධි සුඛෝපභෝගි මෝටර් රථවලින් එකක් ඔහු මිලට ගැනීම නිසාය.

මොකක්ද මේ රෝල්ස් රොයිස් (Rolls-Royce) මෝටර් රථයේ ඇති විශේෂත්වය. ලොව මිල අධිකම මෝටර් රථ විශේෂයක් මෙන්ම සුපිරි බවින් අනූන වූ ඉතාම විරල වාහනයක් ලෙස ‘රොල්ස් රොයිස්’ රථ හඳුන්වා දිය හැකිය. ඩඩ්ලි සිරිසේන මිල දී ගෙන ඇත්තේ එසේ මෙසේ සුපිරි රථයක් නොවේ. එය රෝල්ස් රොයිස් සමාගමේ ශත සංවත්සරය (1925- 2025) වෙනුවෙන්ම නිෂ්පාදනය කළ අතිවිශේෂ රථයකි. එහිදී ශත සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදිත එම රථ සංඛ්‍යාව 25කි. ලෝකෙටම 25ක් වූ එම රථවලින් එකක් දැන් ශ්‍රී ලංකාවේය. එය එතරම් වටිනාකමක් වැදගත්කමක් උසුලන්නකි.
එම රථය ලොව නිහඬම සැපපහසුම (The Sanctuary of Silence) රථයක් ලෙස හඳුන්වනු ලබන අතර, එහි ගමන් කරද්දී පිටත කිසිදු ශබ්දයක් ඇතුළට නොඑන ලෙස කිලෝ 130ක බරින් යුත් ශබ්ද පරිවාරක (Sound Insulation) යොදා ඇත.
වාහනයේ ටයර් ඇතුළත පවා ශබ්දය අඩු කරන විශේෂ ෆෝම් (Silent-Seal Tires) තට්ටුවක් තිබේ. රථයේ එන්ජිම (The Powerhouse) 6.75-liter Twin-Turbo V12 ඉහළ අශ්වබලයකින් සමන්විතය. පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ගියත් එය ඇඟට නොදැනේ.
අපේ රටේ මහාමාර්ගවල ඇති වළවල් වාහනයට දැනෙන්නටත් කලින් කැමරා මඟින් හඳුනාගෙන, ඊට අනුරූපව සැකසෙන විශේෂිත වායු එල්ලුම් පද්ධතියක් (Air Suspension) මඟින් රථය පාවී යන බවක් දැනේ.
ඊට අමතරව වෙනත් විශේෂාංග ලෙසින් දොරවල් ඇතුළත බොත්තමක් එබූ සැණින් වියළී යන ලෙස සකස් කළ ටෙෆ්ලෝන් ආලේපිත කුඩ (Teflon-coated Umbrellas) ය. පසුපස අසුන්වල සිට බොත්තමක් එබූ විට ස්වයංක්‍රියව වැසෙන දොරවලින්ද මේ රථය සමන්විතය.
සංවත්සරයට නිෂ්පාදනය කළ මේ මෝටර් රථ 25 සඳහා පමණක් රෝදවල (Wheels) විශේෂ රේඛා 25ක් ඇඳ ඇත.
රථය ඇතුළත කලාගාරයකි. රෝල්ස් රොයිස් Phantom ඉතිහාසය විදහා දැක්වෙන පරිදි මැහුම් පහරවල් 440,000කට අධික සංඛ්‍යාවක් යොදාගනිමින් අභ්‍යන්තරය සරසා ඇත.
පසුපස ආසනවල ඇති ‘Picnic Tables’ මත 1925 මුල්ම Phantom රථයේ සහ 2025 නවතම රථයේ රූප සටහන් සියුම් ලෙස කැටයම් කර ඇත.
රථයේ වහලය (Roof) තුළ කුඩා ෆයිබර් ඔප්ටික් විදුලි බුබුළු දහස් ගණනක් යොදා ගනිමින් රාත්‍රී අහසක් නිර්මාණය කර ඇත. එහි වරින් වර කඩා වැටෙන තරු (Shooting stars) පවා දිස් වේ.
රත්රන්වලින් නිමවූ ලාංඡන (Gold Plated Excellence) හා රථය ඉදිරිපස ඇති ‘Spirit of Ecstasy’ දේවතාවියගේ රූපය ඝන රත්රන්වලින් නිමවා ඇත. වාහනයේ ඇති ‘Badge of Honour’ ලාංඡනය ද රත්රන් සහ සුදු එනමල් යොදා නිමවා ඇත.
මීට අමතරව සුපිරි පහසුකම් රැසකින් යුත් මේ රථයේ ගමන් කරනා විට ඇතුළත සිටින අයට ඇසෙන එකම ශබ්දය රථයේ ඔරලෝසුවේ ශබ්දය පමණකි.
අන්තර්ජාතික මට්ටමෙන් ඩොලර් මිලියන 3ත් 4ත් (රුපියල් කෝටි 90-120) පමණ වන මෙම රථය, ශ්‍රී ලංකාවේ බදු සමඟ ගණනය කළ හොත් එහි වටිනාකම රුපියල් බිලියන 1 (කෝටි 100) ඉක්මවනු ඇතැයි සැලකේ.
මෙම රෝල්ස් රොයිස් (Rolls-Royce) රථය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීම යනු හුදෙක් මුදල් තිබීම පමණක් නොවේ. මෙම වාහන වර්ගය ඉල්ලුම් කර මිලදී ගැනීමට වඩා සිදු වන්නේ එම වාහන මිලදී ගත හැකි පුද්ගලයන් සමාගම විසින්ම විශේෂයෙන් තෝරා ගනු ලබයි.
ඩඩ්ලි සිරිසේනට ද මෙම අවස්ථාව ලැබෙන්නට ඇත්තේ ඔහු දැනටමත් ප්‍රභූ මට්ටමේ වාහන භාවිත කරන අයෙකු වීම හෝ විශේෂ නියෝජිතයෙකු හරහා ලැබුණු ආරාධනාවක් මත විය හැකිය.

ඩඩ්ලි සිරිසේන යනු හැම විටම පොළොවේ පය ගසා ජීවත් වන්නකු බව ඔහුම පවසයි. ඔහු නිතරම අන් අය දිරිමත් කරන්නට යත්න දරනු පෙනේ. ඔහුගේ මුවගේ ඇති වදන් අතර නිතරම කියවෙන්නේ “හැමෝම ඔයාලගෙ හීන පස්සෙ යන්න. උත්සාහය අත් නොහරින්න. තමන්ගෙ අරමුණ වෙනුවෙන් දිනනකල්ම මහන්සි වෙන්න,” යන්නය.
“මම ලෝකෙ තිෙයන ලොකුම වී සයිලෝ ව්‍යාපෘතියක් ආරම්භ කළේ වී මිටි 100කින්. මිනිස්සු එහෙම තමයි දියුණු වෙන්න ඕනෑ. ඒකට උත්සාහය වගේම කැප වීමත් තියෙන්න ඕනෑ. අද වෙනකොට මම ඒ වෙනුවෙන් නොනිදා රැය පහන් කරපු දින ගණන කාටවත් වැඩකට නැති වුණත්, ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් සහ අත්හැරදැමීම් කාටවත් වැඩකට නැති වුණත්, මම මගේ රට වෙනුවෙන් යමක් ඉතිරි කර තියෙනවා. ඒ වගේම ව්‍යවසායකයෙක් විදිහට සැලකිය යුතු බදු මුදලක් රටට ගෙවන ගමන්, ඍජු හා වක්‍ර රැකියා දස දහස් ගණනක් මේ රටට උරුම කරල දීලා තියනවා. ඒ නිසා මට මම ගැන ගොඩක් ආඩම්බරයි.
“විඳපු දුක් වගේම කරපු කැප කිරීම් සාර්ථකත්වයට පත් වූ දිනයක ඔබට සුන්දර මතක රැසක් උරුම කරයි. එතකල් තමන්ගෙ හීනය වෙනුවෙන් මහන්සි වෙන එක ඔබ සතුයි.” ඩඩ්ලි පවසයි.
“ණය ගෙවා ගන්න බැරුව නින්ද නොගිය දවස් ගණන මට මතක නැහැ. අම්මගෙන් හාල් පොල් ටික ඉල්ලගෙන කාපු බීපු හැටි මට හොඳට මතකයි. අන්තිමයා වුණාට කමක් නෑ පුතා, තමන්ගෙ ගමන හෙමින් පරිස්සමට යන්න. මොකද, වඩාත් වැදගත් වෙන්නෙ අරමුණට ළඟා වෙන එක මිස, අනෙක් අය පහු කරන එක නොවෙයි.”
කෝටි 100ක රෝල්ස් රොයිස් එකක් ගත්තත්, ආපු ගමන මතකයේ ඇත්නම් ඊට වඩා ගමනක් යා හැකිය. දෙපාවලට දැමූ සෙරෙප්පු කැඩී, කකුලේ ගල් ඇනෙමින් පාසල් ගිය ඩඩ්ලිගේ මේ කතාව රෝල්ස් රොයිස් හා ගළපාගැනීමේදී ශ්‍රී ලංකාවේ අපට වඩාත් ආදර්ශයක් වනු ඇත.
තාරක වික්‍රමසේකර-සිළුමිණ