එත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බැරිවෙලා
චිනය මගින් ලබාදුන් ප්‍රදාන අරගෙන නැහැ
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තවම අනුමත කර නෑ
කෝටි 149ක් වැයකොට මිලදී ගත් ස්මාට් බෝඩ් 1000ක් තවමත් ගබඩාවල
අමාත්‍ය මණ්ඩලය නොමග යවන සුළු තොරතුරු ලබාදිලා
ඉකුත් වසර තුන තුළදී (2020,2021,2022)නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රුපියල් පන්සිය විසිඑක් කෝටි අනූදෙලක්ෂ අනුහත්දහස් තුන්සිය අනුවක (5,219,297,390) මුදලක් වැය කරලා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට ඇතැම් පාර්ශ්වයන්ගේ දැඩි විරෝධයක් එල්ල වි ඇත. තවත් පාර්ශ්වයක් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවට මත පළ කරති. මෙවන් පසුබිමක් තුළ රජය විසින් මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වර්ෂය දක්වා කල් දැමීමට තින්දුකරණු ලැබිය. පසුගිය රජයන් මගින්ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ සැලසුම් සකස් කරණු ලැබිය. ඒ විතරක් නොව ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් රාජ්‍ය අමාත්‍යංශයක් ද ස්ථාපිත කරණු ලැබිය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැයකළ ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ඉකුත් වසර තුන තුළදී (2020,2021,2022) එවකට පැවැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් පන්සිය විසිඑක් කෝටි අනූදෙලක්ෂ අනූහත්දහස් තුන්සිය අනූවක (5,219,297,390) වියදමක් දරා තිබුණ ද සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට අපොහොසත් වි තිබිණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ඉකුත් වසර තුන තුළදී රාජ්‍ය අමාත්‍යාංශය විසින් දැරූ මෙම මුදල හා ජාතික අධ්‍යාපන ආයතනය විසින් දරනු ලැබූ රුපියල් තිස්පන් කෝටි පන්ලක්ෂ පනස්දෙදහස් තුන්සිය අනුතුනක වියදම (350,552,393) නිශ්කාර්ය වියදමක් බවට පත්ව තිබිණි.
ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර හා ලෝක බැංකු ණය ආධාර මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් යොදවා තිබුණි. මෙම ප්‍රතිසංස්කරණයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකලහොත් වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික දුෂ්කරතා හමුවේ බැඳීම් ගාස්තු ණය පොලී ගෙවීම මත විශාල මූල්‍යමය පාඩුවක් විය හැකි බවද විගණනය මගින් ද අනාවරණය කොට තිබිණි.
එමෙන්ම ණය ගිවිසුම අවලංගු විමේ අවධානමක් ද පවතින බව විගණන වාර්තාවේ සඳහන්ව ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා තිබුණි. කෙසේ වුව ද මෙකී රාජ්‍ය අමාත්‍යාංශය 2022 ජූලි 22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අහෝසි කොට තිබූ අතර, විෂය පථයට අයත්ව තිබූ කාර්යයන් හා කර්තව්‍යයන් එදින සිට අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කොට තිබිණි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් හඳුනාගෙන තිබූ අතර සියලුම කාර්යයන්ට අදාළ මූලික ක්‍රියාකාරකම් පස් අවුරුදු ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම අනුව 2021 ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාසයන් තුළදී ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබිණි. එහෙත් මෙම කටයුතු සැලසුම් කළ කාලසිමාවන් තුළදී ඉටුකිරීමට රාජ්‍ය අමාත්‍යාංශයට නොහැකිවී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. විෂයමාලා හා ඇගයිම් ප්‍රතිසංස්කරණ සඳහා පමණක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබුණ ද ඉතිරි ප්‍රතිසංස්කරණ 05 සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපොහොසත් වි තිබිණි.
ඒ විතරක් නොව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තින් සකස් කිරීම සදහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කොට තිබූ නමුත් ඉකුත් වර්ෂයේ (2025) සැප්තැම්බර් මස 30 දින වනවිටත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුමතකර ගෙන නොතිබුණි. 1991 අප්‍රෙල් 19 දිනැති අංක 19 දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කොට තිබිණි.
ඒ අනුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 1992,2003,2016, හා 2021 යන වර්ෂවලදී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තින් සකස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ඉදිරිපත් කොට තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට තිබිණි.
කෙසේ වුව ද වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙරට අධ්‍යාපනය නවිකරණය කිරීම අරමුණුකර ගත් ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබුණි. මෙරට පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම පැවැති රජයන් වල ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබිණි. මෙරට පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අරමුණුකර ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පසුගිය කාලය තුළදී විවිධ වූ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරණු ලැබීය.
හදිසි තත්ත්වයක් ව්‍යාජ ලෙස ඇතිකරමින් කෝටි 149ක මුදලක් වැයකොට සුහුරු පුවරු 1000ක් මිලදී අරගෙන.
පසුගිය රජය මගින්ද සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීට සැලසුම් කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු හදිසි ප්‍රසම්පාදන තත්ත්වයක් නොතිබියදී හදිසි තත්ත්වයක් ව්‍යාජ ලෙස ඇතිකරමින් රුපියල් එකසිය හතළිස් නමකෝටි, තිස්තුන්ලක්ෂ, දසදහස් හයසිය අනූහයක (1,493,310,696) මුදලක් වැයකොට සුහුරු පුවරු 1000ක් මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කටයුතු කරණු ලැබිය. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ දී මෙම සුහුරු පුවරු කඩිමුඩියේ මිලදී ගෙන තිබිණි.
චින රජයේ ආධාර යටතේ ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් මගින් සුහුරු පුවරු 500ක් ලබා ගෙන පාසල් පද්ධතිය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කළ යුතුව තිබිණි. විගණනය මගින් පෙන්වා දෙන ආකාරයට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයා විසින් (තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අධ්‍යාපන ) චීනය මගින් ලබාදුන් ප්‍රදාන ලබා ගැනිමට කටයුතු නොකර සුහුරු පුවරු 1000ක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කොට තිබුණි. ඒ විතරක් නොව චීන ආධාර යටතේ ලැබීමට නියමිත සුහුරු පුවරු 500 මෙම වර්ෂයේ මැයි මස 31 දින වන විටත් ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කර නොතිබිණි.
චීනය මගින් ලබාදුන් ප්‍රදාන අරගෙන නැහැ
මෙම ව්‍යාපෘතියේ කාර්යභාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ලැබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයා( තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අධ්‍යාපන) තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කොට තිබිණි. විගණනය මගින් පෙන්වා දෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ වගන්තිවල විධිවිධානවලට පටහැනිව මෙම අතිරේඛ ලේකම්වරයා තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමට කටයුතු කර තිබිණි. සුහුරු පුවරු මිලදී ගැනීමට සැලසුම් කළ ප්‍රසම්පාදන කාලරාමුවට සාපේක්ෂව මාසයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ කිසිදු හේතුවක් නොමැතිව ප්‍රසම්පාදන රාමුව කෙටිකර තිබිණි. ඒ විතරක් නොව ව්‍යාපෘති භාර අතිරේඛ ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කරනු ලැබූ තාක්ෂණික පිරිවිතර සහ චීන නිෂ්පාදකයාගේ නම තාක්ෂණික කමිටුවේ සමාලෝචනයකින් තොරව ලංසු ලියවිලිවලට ඇතුළත් කිරීමට කටයුතු කරණු ලැබීය. ප්‍රමාණාත්මක ප්‍රසම්පාදන පියවරයන් උල්ලංඝනය කරමින් මෙකී සුහුරු පුවරු මිලදී ගෙන ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට තිබිණි.
සුහුරු පුවරු මිලදී ගැනීමේ දී ප්‍රමාණාත්මක ප්‍රසම්පාදන පියවරයන් උල්ලංඝනය කරලා.
සුහුරු පුවරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉතා කෙටි කාලයක් තුළ ඉතා හදිසි අයුරින් ජනාධිපති මැතිවරණය ආසන්නයේදී පවත්වා තිබීම ද සැබවින්ම ගැටලු සහගතය. මෙකී ව්‍යාපෘතිය සඳහා එකාබද්ධ අමාත්‍ය මණ්ඩල තීරණය 2024 අගෝස්තු මස 06 වැනි දින නිකුත්කිරීමට නියමිතව තිබිණි. එහෙත් අමාත්‍ය මණ්ඩල තිරණය නිකුත්කිරීමට පෙර ඊට අදාළ සංදේශය අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර යෝජිත පරිදි ඉටු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව 2024 ජුලි මස 30 දිනැති හදිසියි රහසිගතයි සඳහන් ලිපිය අනිකුත් පාර්ශ්වයන්ට පිටපත් සහිතව අධ්‍යාපන ලේකම්වරයාට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ලේකම් තනතුර දරන අතිරේඛ ලේකම් විසින් කටයුතු කිරීම ද අසාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව පැහැදිලි වන්නේ කිසිදු හදිසි ප්‍රසම්පාදන තත්ත්වයක් නොතිබියදී හදිසි තත්ත්වයක් ව්‍යාජ ලෙස ඇතිකර සුහුරු පුවරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය සිදු කොට ඇති බවය.
මෙකී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල තිරණය නිකුත්කිරීමට පෙර හදිසියි රහසිගතයි සඳහන් ලිපිය අනිකුත් පාර්ශ්වයන්ට යොමු කරලා.
මෙම සුහුරු පුවරු මිලදී ගෙන ඇත්තේ සි/ස ශ්‍රි ලංකා රජයේ වාණිජ්‍ය ( විවිධ) නිතිගත සංස්ථාව හරහාය. මුල් අවස්ථාවේ දී මෙම ආයතනය මගින් මෙම සුහුරු පුවරු මිලදී ගැනීම සඳහා රුපියල් එකසිය හැටපන් කෝටි, අසුහයලක්ෂ, අසුහත්දහස්, නමසිය හැටක (1,658,687,960) ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට තිබිණි. මෙම මිල ගණන් කේවල් කිරීමන් පසුව මෙකී ඇස්තමේන්තුව රුපියල් එකසිය හතළිස් නමකෝටි, තිස්තුන්ලක්ෂ, දසදහස් හයසිය අනුහයක (1,493,310,696) ලෙස ඇස්තමේන්තුව සංශෝධනය කොට තිබිණි. රාජ්‍ය ආයතනයක් වූ මෙම ආයතනය මුල් අවස්ථාවේ දී සුහුරු පුවරු මිලදී ගැනීමේ දී සර්ව සාධාරණ මිල ගණන් ඉදිරිපත් කොට නොතිබිණි. මෙම උපකරණවල වගකී කාලය අතුරින් දෙවැනි හා තුන්වැනි වසර තුළ නඩත්තු කටයුතු වෙනුවෙන් නමකෝටි දසලක්ෂ, පනස්හත්දහස් දාසයක (91,057,016) ඉහළ මිල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබිණි.
එමෙන්ම ලංසු ලියවිලිවල සඳහන් වසර තුනක වගකීම් කාලයට සැපයුම්කරු එකඟවී නොතිබිණි. සැපයුම්කරු විසින් ලබාදෙන වර්ෂයක වගකීම් කාලයට අමතරව ලංසු ලියවිලිවල සඳහන් පරිදි වර්ෂ තුනක වගකීම් කාලය ලබා ගැනීමට සැපයුම්කරුට රුපියල් නම කෝටි දසලක්ෂ, පනස්හත්දහස් දාසයක (91,057,016) අමතර ගෙවීමක් සිදුකළ යුතු බවට මූල්‍ය තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශයේ වෙන් වෙන්ව ඉදිරිපත් කොට නොතිබිණි. ඒ අනුව ප්‍රසම්පාදනයේ මුළු වටිනාකම පමණක් ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන සුළු තොරතුරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම් (තොරතුරු තාක්ෂණ) ඇතුළු අදාළ නිලධාරීන් කටයුතු කර තිබූ බව විගණනය මගින් පෙන්වා දී තිබිණි.
අමාත්‍ය මණ්ඩලය නොමග යවන සුළු තොරතුරු ලබාදිලා
මිලදී ගනු ලැබූ මෙම සුහුරු පුවරු ඉකුත් වර්ෂයේ (2024) දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු කාලය තුළදී පාසල් 20ක සවි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම්කොට තිබුණි. පාසල් නිවාඩු කාලය තුළදී ඉංජිනේරුවරයකු හා පුහුණුවලත් කණ්ඩායමක් විසින් මෙකී සුහුරු පුවරු සවිකිරීමට සැලසුම්කොට තිබූ අතර ඒ සඳහා විදේශිය රටක සිට ඉංජිනේරුවරයකු සති හයක පමණ කාලයකට මෙරටට පැමිණ තිබිණි. එම ඉංජිනේරුවරයාගෙන් අදාළ කාර්යයන් ඉටුකර ගැනීමට පවා අධ්‍යාපන අමාත්‍යාංශයට නොහැකිවී තිබිණි. මිලදී ගනු ලැබූ මෙම සුහුරු පුවරු 1000 පාසල්වල ස්ථාපනය කිරීමට කටයුතු කර නොතිබූ අතර එම සුහුරු පුවරු පත්තලගෙදර ගබඩාවේ ගබඩාකොට තිබිණි. මෙම සුහුරු පුවරු මෙම වර්ෂයේ මැයි මාසය පාසල්වල ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කටයුතු කර නොතිබිණි.

මෙම උපකරණ නඩත්තු කිරීමේ වියදම් ලෙස රාජ්‍ය වාණිජ්‍ය නිතිගත සංස්ථාව විසින් ඉල්ලුම්කොට ඇති මුදල රුපියල් විසිපන්කෝටි, හතළිස් ලක්ෂ, දාසයදහස් හයසිය හැට හයකි. (254,016,666) මෙම ව්‍යාපෘතියේ නඩත්තු හා සේවා පහසුකම් සඳහා අධික පිරිවැයක් දැරීමට ද සිදුවී තිබිණි. වසර තුනක වගකීම් කාලයෙන් පසු මෙම නඩත්තු වියදම දැරීම සඳහා ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ සඳහා තවදුරටත් දායකත්වය ලබාදෙන්නේ ද යන්න පිළිබඳ නිශ්චිත එකඟතාවයකට එළඹ නොතිබිණි.
අනික් කාරණය වන්නේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් එම පාසල්වල තිබේ ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය .එහෙත් මෙම සුහුරු පුවරු පාසල් පද්ධතිය තුළ අරමුණු ගත කාර්යයට යෙදවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම ඇතුළු දිර්ඝකාලීන මෙහෙයුම් සැලැසුමක් සකස්කර නොතිබිණි. මෙකී ව්‍යාපෘතිය පිළිබඳ අදාළ පාසල් වෙත දැනුම්දීම සිදුකරණ විටත් සුහුරු පුවරු ආනයනය කිරීමට කටයුතු කර තිබිණි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර පාසල්වල තිබිය යුතු යටිතල පහසුකම් ගැන සොයා බලා නැත.
සුහුරු පුවරු ස්ථාපනය කිරීම සදහා පාසල්වල පැවතිය යුතු යටිතල පහසුකම් හා මානව සම්පත් පිළිබඳ අවධාරණය කොට තිබූ අතර රැහැන් සහිත පයිබර් (fiber) අන්තර්ජාල පහසුකම් පැවතිය යුතු බව සඳහන් කර තිබිණි. එහෙත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් පාසල් 1000ක් අතුරින් පාසල් 121ක පයිබර් (fiber) අන්තර්ජාල පහසුකම් නොතිබිණි. මෙම උපකරණ වල වගකීම් කාලය අවුරුදු 01ක් වන අතර වගකීම් කාලයෙන් මාස අටක කාලයක් ගතවී තිබූ අතර සුහුරු පුවරු ප්‍රයෝජනයට නොගෙන ගබඩා තුළ පවතින බව ද විගණනය මගින් පෙන්වා දි තිබිණි. චින ආධාර යටතේ සුහුරු පුවරු 500ක් ලබා ගැනීමකින් තොරව සුහුරු පුවරු 1000ක් මිලදී ගැනීමේ හදිසි ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරි, අතිරේඛ ලේකම්, (තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අධ්‍යාපන) තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයින් වගකීමට යටත්වන බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම ව්‍යාපෘතිය ඉටුකරගත නොහැකිවීමේ තත්ත්වයක් තුළ රජයට සිදුවන මූල්‍යමය හානිය මෙම නිලධාරීන් දැරිය යුතු බව ද විගණනය මගින් නිර්දේශකොට ඇත. සැබවින්ම මේ සඳහා වගකිවයුත්තේ මෙකී ව්‍යාපෘතියට සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ය. මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් පාසල්වල තිබේ ද යන්න පිළිබඳ සොයා බැලීමකින් තොරව ජනාධිපතිවරණය ආසන්නයේ සුහුරු පුවරු මිලදී ගැනීමට කටයුතු කිරිම ද ගැටලුවකි.

ඒ විතරක් නොව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවීමට යෝජිත නවෝත්පාදන විද්‍යාගාර සදහා අධිතාක්ෂණික උපකරණ පාසල් 750ක් සඳහා මිලදී ගැනීමට සැලසුම්කොට තිබිණි. වර්තමානයේ නවෝත්පාදන විද්‍යාගාර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිත මට්ටමකට ළඟාවී නොතිබිණි. එවන් පසුබිමක් තුළ අධිතාක්ෂණික උපකරණ අඩු සංඛ්‍යාවක් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙහි ප්‍රගතිය මැනබැලීමට තිබිණි. එහෙත් අවශ්‍යතා තක්සේරුවක් සිදු නොකර පාසල් 45ක් සඳහා රුපියල් හත්කෝටි, අනුනම ලක්ෂ, පනස්පන්දහස්, හයසිය හැත්තෑතුනක (79,955,673) විශාල මුදලක් වැය කරමින් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර ඇතුළු අනිකුත් අධිතාක්ෂණික උපකරණ මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කටයුතු කර තිබිණි. එම උපකරණ පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් සැලැස්මක් කාලවකවානු සහිතව පිළියෙල කොට නොතිබිණි. මෙවැනි උපකරණ මිලදී ගැනීමට සැලසුම්කරණ විට රටේ පවතින ආර්ථික පසුබිම අනුව පාසල් පද්ධතිය තුළ එවැනි උපකරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි පසුබිමක් ඇතිවී තිබිණි. එවන් පසුබිමක් තුළ විද්යානුකූුල පදනම්වලින් බැහැරව මෙකී අධිතාක්ෂණික උපකරණ මිලදී ගෙන තිබිණි.
දිගුකාලින සැලසුමක් අනුව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් විධිමත් වැඩපිළිවෙළක් නොමැතිව ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර 45ක් මිලදී ගැනීමට කටයුතු කර තිබිණි. එමෙන්ම ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර 750ක් පාසල්වල ස්ථාපිත කිරීමට යෝජනා කළ සහ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර 45ක් මිලදී ගැනීමට තීන්දු කළ හා උපකරණවල පිරිවිතර තිරණය කළ නිලධාරීන් මෙම ව්‍යාපෘතියේ ප්‍රථිපල රටට අත්කරදීම සම්බන්ධයෙන් වගකීම් දැරිය යුතුය.
ලලිත් චාමින්ද(දිවයින ඉරිදා සංග්රහයෙනි)