අඟහරු ග්‍රහයා පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර දහඅට කෝටි හතළිස් ලක්ෂයක (කි.මී. මිලියන 184ක්/ කි.මී. 184,000,000ක්) තරම් දුරකිනි. අද වන තුරු මිනිසා ගමන් කර තිබෙන උපරිම දුර චන්ද්‍රයා වෙත පමණි. චන්ද්‍රයා පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර තුන් ලක්ෂ අසූ හතර දහසක (කි.මී. 384,000ක්) පමණ දුරකිනි. අඟහරු වෙත යාමට එමෙන් හාරසිය අසූ ගුණයක් පමණ දුර ගමන් කිරීමට සිදු වනු ඇත. තාක්ෂණය කොපමණ ඉහළ මට්ටමක තිබුණත්, මේ චාරිකාව යෑම පහසු කර්තව්‍යයක් නොවන බව කාට වුව පැහැදිලිය. දැනට මිනිසා නිර්මාණය කර ඇති වේගවත්ම අභ්‍යවකාශ යානයෙන් වුව, අඟහරු වෙත ගමන් කිරීමට මාස 9ත් අවුරුද්දත් අතර කාලයක් ගත වනු ඇත.

පෘථිවියෙන් එපිට ජීවයක් පැවතිය හැකිද? යන ප්‍රශ්නයට පිළිතුර සොයා යන ගමනේදී අපට හමු වන පළමු සහ ප්‍රධානතම නැවතුම වන්නේ රතු ග්‍රහයා නොහොත් අඟහරු (Mars) ය. නූතන ලෝකයේ විද්‍යාව හා තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී ඇති යුගයක මිනිසා උත්සාහ කරන්නේ චන්ද්‍රයාගෙන් ඔබ්බට ගොස්, අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමටය.
කෙසේ වෙතත් අඟහරු චාරිකාව කාරණා කිහිපයක්ම හේතුවෙන් සඳ ගමනට සාපේක්ෂව අසීරු සහ අතිශය භයානක ගමනකි. මාස ගණනාවක් ගත වන මේ චාරිකාවට සහභාගි වන ගගනගාමීන් හට නැවත පෘථිවියට ළඟා වීමට නොහැකි වීමටද බොහෝ දුරට ඉඩ තිබේ. ඒ කෙසේ නමුදු මනුෂ්‍ය වර්ගයා අඟහරු ග්‍රහයා වෙත පය තබන දිනය වැඩි ඈතක නොවන බව පසක් කිරීමට දැනටමත් කෙනෙක් සූදානම්ව සිටී. නව යොවුන් වියේ පසු වන තරුණියක වන ඇය නමින් ‘ඇලීසා කාර්සන්’ ය.
විසිතුන් හැවිරිදි යොවුන් තරුණියක වූ ඇලීසා ජීවත් වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේය. අඟහරු ලොව තරණය කිරීම සඳහා ඉදිරිපත් වන ඇයගේ කතාව ආරම්භ වන්නේ ඇයට වයස යන්තම් අවුරුදු තුනේදීය. ‘The Backyardigans’ යන කාටූනය නැරඹූ ඇලීසා එහි තිබූ අඟහරු ලෝකය පිළිබඳ කියවෙන කොටසක් දැකීම අඟහරු කරා යෑමේ සිහිනය ඈ තුළ පිළිසිඳ ගත් අවස්ථාවය. පසුව ඇය සිය පියාගෙන් විමසා ඇත්තේ “තාත්තේ, මට අඟහරු ලෝකයට යන්න පුළුවන්ද?” යනුවෙනි.
එය ඇසූ ඇලීසාගේ පියා ඇයගේ ඒ පුංචි හිතේ හට ගත් ආශාව බැරෑරුම් ලෙස සලකා බලා ඇත. එදින පටන් ගත් ඇයගේ ඒ හීනය අද වන විට මුළු මහත් ලෝකයකම අවධානය දිනාගත් ‘නාසා’ (NASA) ආයතනය පවා පිළිගෙන තිබේ. ‘නාසා’ දක්ෂතම අනාගත අභ්‍යවකාශගාමිනියක ලෙස ඇය නම් කර ඇත. අභ්‍යවකාශ ක්ෂේත්රයේදී ඇය දැන් හඳුන්වනු ලබන්නේ ‘බ්ලූබෙරි’ (Blueberry) යන අන්වර්ථ නාමයෙනි.
ඇලීසා යනු සාමාන්‍ය හීන දකින යෞවනියක් නොවේ. ඇය ඒ හීනය වෙනුවෙන් තමාගේ මුළු ජීවිතයම කැප කළ තරුණියකි. ඇයගේ තවත් විශේෂත්වයක් වන්නේ ඇය ලෝකයේ නාසා අභ්‍යවකාශ කඳවුරු (Space Camps) ත්‍රිත්වයම සම්පූර්ණ කළ පළමු පුද්ගලයා වීමයි. එසේම, නාසා ආයතනයේ ‘පාස්පෝට් වැඩසටහන’ (Passport Program) යටතේ ඇති මධ්‍යස්ථාන 14ටම ගිය ලොව එකම තැනැත්තිය වන්නීද ඇයයි. අඟහරු වෙත යෑමට ඇය බලාපොරොත්තු වන නිසා ‘නාසා’ ඇයට දැනුම් දී තිබෙන්නේ ඉතා කඩිනමින් අභ්‍යවකාශ චාරිකා සහ අඟහරු පිළිබඳ උපරිමයෙන් ඉගෙනගන්නා ලෙසය.
අඟහරු ග්‍රහයා යනු සෞරග්‍රහ මණ්ඩලය තුළ පවතින ග්‍රහයන්ගෙන් පෘථිවියට වඩාත් ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකයයි. මේ නිසාම යම් දවසක එහි මානව ජනාවාස පිහිටුවීමට විද්‍යාඥයන්ගේ යම් අදහසක් තිබෙන අතර, මේ වන වන විට මළ ග්‍රහයකු ලෙස සලකනු ලබන අඟහරු හරිත ග්‍රහලෝකයක් බවට පත් කර, එහි ජීවය පැළපදියම් කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි.
මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට නම් මිනිසුන් කණ්ඩායමක් භෞතිකවම එහි යා යුතුය. නාසා ආයතනය ඇලීසා සූදානම් කරන්නේ මේ අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි. මානව සංහතියෙන් අඟහරු ග්‍රහයා වෙත පා තබන පළමු පුද්ගලයා බවට පත් වීම ඇයගේ වුවමනාව විය. ඇය ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළාය.
කෙසේ වෙතත්, බොහෝ දෙනකු ඇයගේ මේ ආශාවට සිනාවෙන් ප්‍රතිචාර දැක්වූයේ එය කිසිම දවසක සාක්ෂාත් නොවන බව කියමිනි. එහෙත් ඒ කිසිවකින් ඇය අධෛර්යයට පත් නොවූ අතර, ඇය නාසා ආයතනය අමතා සම්බන්ධතා ගොඩනඟාගනිමින් ලෝකය වටා පවත්වන අභ්‍යවකාශ කඳවුරුවලට (Space Camps) සහභාගි වී ඇත. මෙහිදී ඇය දිය යට කිමිදීම මෙන්ම ගුවන්යානා පැදවීමේ බලපත්රයද සාර්ථකව හිමි කරගත් අතර, ඇගේ මුළු කාලයම ඇය කැප කරනු ලැබුවේ මේ හීනය වෙත යන මංපෙත් එළිපෙහෙළි කරගැනීම වෙනුවෙනි. අවසානයේදී එය මල්-පල ගන්වමින් ඇය දොළොස් හැවිරිදි වියේදී නාසා ආයතනය සිය අනාගත අඟහරු චාරිකාව පිළිබඳ සාකච්ඡා කිරීමට ඇය තෝරා ගන්තේය.
මේ තෝරාගැනීමේදී අනුගමනය කරන ලද, ගගනගාමින් පුහුණු කිරීමේ නාසා ආයතනයේ ක්‍රමවේද මොනවාද යන්න පිළිබඳ මඳක් විමසා බලමු. එහිදී මූලික තෝරාගැනීම සිදු කිරීමෙන් අනතුරුව එසේ තෝරාගනු ලැබූ සියලු පුද්ගලයන් වසර දෙකක මූලික ගගනගාමි පුහුණුවකට යොමු කරනු ලැබේ. ඉන් අනතුරුව නාසා ආයතනය විසින් සිදු කරනු ලබන ඕනෑම අභ්‍යවකාශ මෙහෙයුමකට තෝරාගැනීම් සිදු වේ. මේ මෙහෙයුම් අභ්‍යවකාශයට, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට, සඳට, අඟහරුට හෝ ඊටත් එහා ගිය ස්ථානයකට සිද්ධ කරනු ලබන මෙහෙයුමක් වන්නට පුළුවන. යම් අයකු මෙසේ එක්තරා විශේෂිත මෙහෙයුමකට තෝරාගත් පසු නිරන්තරයෙන් ඔවුන් ඒ වෙනුවෙන්ම පුහුණු කිරීම සිදු කෙරේ. මේ වන විට ඇලීසා සිටින්නේ මේ සියලු සුදුසුකම් සපුරාගෙනය.
එහෙත් ඒ මොන පුහුණු කිරීම සිද්ධ කරනු ලැබූවත්, සක්වළ ගවේෂණයෙහි ඇති අවදානම් සහගත භාවය නම් කිසි ලෙසකින් හෝ අඩුවක් සිදු වන්නේ නම් නැත. සක්වළ ගවේෂණය යනු ඒ තරමටම අනතුරු සහ අභියෝගයන්ගෙන් පිරුණු ක්ෂේත්රයකි. විශේෂයෙන්ම අභ්‍යවකාශයේ පවතින අහිතකර විකිරණවලට ගගනගාමීන් නිරාවරණය වීම වැනි දෑ සිදු වීමට පුළුවන. එසේම දීර්ඝ කාලයකට ඔරොත්තු දෙන පරිදි ඔවුන් ගමන් කරන යානය සැකසීමත් ඉතාම පරිස්සමින් කළ යුතු කාර්යයකි. සුළු හෝ අතපසුවීමක් සිදු වුව හොත් එහි ප්‍රතිඵලය ඉතා භයානක වීමට පුළුවන. මේ සියල්ල පිළිබඳ දැඩි අවබෝධයකින් පසු වන ඇලීසා පවසන්නේ තමා ඒ අභියෝග සියල්ල භාර ගැනීමට කිසි ලෙසකින් හෝ බිය නොවන බවයි.
බොහෝ දෙනකු සිතන්නේ ගගනගාමීන් තෝරාගැනීම් සඳහා සිදු කරන පරීක්ෂණ සියල්ලෙන්ම සමත් වීම අතිබහුතරයකට සිදු කළ නොහැකි කර්තව්‍යයක් බවය. එහෙත් ඇලීසා කිසි දිනෙක එසේ සිතුවේ නැත. ඇය තම සිත දැඩි කරගනිමින්, විශ්වාසයෙන් යුතුව ඒ සියල්ලට මුහුණ දී තිබිණ. ඇය පවසන්නේ ඇයට අසීරුම හා අභියෝගාත්මකම දෙයක් බවට පත් වී ඇත්තේ ශාරීරිකව ඒ සඳහා මුහුණ දීමට සූදානම් වීම බවයි. ඇය නව යොවුන් වියේ පසු වන යුවතියක වීම එයට ප්‍රධාන හේතුව ලෙස ඇය පවසයි
. කෙසේ හෝ ඇය මුහුණ දුන් අභියෝග හැඩි-දැඩි පුරුෂයකුට හෝ සිදු කිරීමට අසීරු බව ඇය කියා සිටී. මේ අභියෝග අතර වැඩි පීඩනවලදී සහ අඩු ඔක්සිජන් තත්ව යටතේ හුස්ම ගැනීම මෙන්ම වැඩි ගුරුත්වයක් යටතේ සිහි විසංඥ නොවී සිටීමේ ක්‍රියාකාරකම් අන්තර්ගත වී තිබේ. ඊට අමතරව ශූන්‍ය ගුරුත්වයක ජීවත් වීම, ඔබ මොබ ඇවිදීම, දෑස් බැඳ දිය යට පිහිනීම මෙන්ම දිශාව හඳුනාගැනීමටත් ඇය හොඳින්ම පුහුණු වී තිබේ. එසේම පෘථිවි ගුරුත්වය වැනි කිහිප ගුණයක ගුරුත්වයක් දරාගත යුතු තවත් පරීක්ෂණ කිහිපයකටම ඇය මුහුණ දී ඇති අතර, ඒවායින්ද ඇය සාර්ථකව සමත් වී තිබේ.
ඒ අනුව අඟහරු කරා යන සියලු සුදුසුකම් ඇය මේ වන විට සපුරා තිබෙන අතර, 2030 වර්ෂයේ මුල් භාගයේදී අඟහරු මත පය තබන පළමු මිනිසා වීමේ භාග්‍යය තමා වෙත ළඟා කරගැනීමට ඇය සැදී පැහැදී සිටී. ඇලීසා කාර්සන් තමා මෙන්ම ගගනගාමියකු වීමට බලාපොරොත්තුවෙන් පසු වන තරුණ සහ කුඩා අයට ලොකු ආදර්ශයක් වී තිබෙන්නේ එලෙස ය. එසේම ඇය නිරන්තරයෙන්ම නව පරම්පරාවේ දරුවන් දිරි ගැන්වීමද මේ වන විට සිදු කරමින් සිටී. අභ්‍යවකාශ කඳවුරුවලට යන පුද්ගලයන්ගෙන් අවසානයේදී ගගනගාමීන් බවට පත් වන්නේ ඉතා සුළු පිරිසක් වුවද, ඇය පවසන්නේ කිසිවකු ඒ සම්බන්ධයෙන් වධ විය යුතු නැති බවයි. මේ ගමන අතරමඟදී හදිසියේ හෝ යමකුට ගගනගාමියකු බවට පත් වීමට නොහැකි වුව හොත් ඔහු හෝ ඇය අතරමං නොවන බවත් ඇලීසා පවසා සිටී. අභ්‍යවකාශ විද්‍යාව හා සම්බන්ධ තවත් අතුරු විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඇති අතර, ඒවා අතුරෙන්ද ඉතා සමෘද්ධිමත් ජීවන උපායන් සකසාගත හැකි බව ඇය වැඩි දුරටත් පවසා සිටී.
මේ වන විට පවතින වේගවත්ම අභ්‍යවකාශ යානයෙන් වුවද අඟහරු වෙත ගමන් කිරීමට අවම මාස නවයක කාලයක් ගත වනු ඇති අතර, මේ ගමනට සරිලන ජලය, ආහාර සහ ඉන්ධන රැගෙන යෑමද ප්‍රායෝගික කාර්යයක් නොවේ. එසේ නම් මේ අභියෝගය ජය ගැනීමට නාසා ආයතනය සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැන් විමසා බලමු.
එහිදී ඔවුන් සැලසුම් කරන්නේ ගගනගාමීන්ට අවශ්‍ය ආහාර යානය තුළම නිපදවාගැනීමටය. එසේම ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමටද ඔවුහු බලාපොරොත්තු වෙති. නූතනය වන විට සූර්ය බලය ඉන්ධන වශයෙන් භාවිත කිරීම සෑහෙන තරම් දියුණු මට්ටමකට පත් වී තිබෙන බැවින් යානයට අවශ්‍ය බල ශක්තිය සූර්ය බලයෙන් උත්පාදනය කිරීම ප්‍රායෝගිකව තහවුරු වී තිබේ. මේ වන විට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේද ඒ ආකාරයෙන්මය.

මෙවැනි මෙහෙයුමකදී අංශු මාත්‍රයක් හෝ එහෙ මෙහෙ නොවිය යුතුය. එවැනි දෙයක් සිදු වීමට ඇති සම්භාවිතාවද ඉතා ඉහළය. එහෙයින් මෙවැනි ගමනක යෙදෙන ගගනගාමීන් ඒ ගමන යන්නේ මරණය අත දරාගෙන බව පැවසුවහොත්, එහි වැරැද්දක් නැත. ඇලීසා ඒ බව හොඳින්ම දැනගෙන මේ ගමන යෑමට සූදානම් වන්නියකි. මාධ්‍යවේදීන් මේ පිළිබඳ ඇයගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය දී ඇත්තේ අපූරු පිළිතුරකි.
ඇය පවසා සිටින්නේ තම ආශාව සහ අභිප්‍රාය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ඇය කැප වී සිටින බවයි. එසේම තමා මේ අඟහරු චාරිකාව යන්නේ නැවත පැමිණෙන බලාපොරොත්තුවෙන් නොවන බවත් ඇය පවසා සිටී.
එනිසා කිසිම පුද්ගලයකු සමඟ ජීවන සම්බන්ධතා ගොඩනඟා නොගන්නා බවත් ඇය පවසා සිටින අතර, විවාහ වීමටද ඇය බලාපොරොත්තු නොවේ. අඟහරු චාරිකාව ගොස් නැවත පෘථිවිය වෙත පැමිණීමටද බලාපොරොත්තුවක් නැති බව ඇය පවසා සිටී. මේ වන විට ඇයගේ එකම අභිප්‍රාය අඟහරු මත පා තබන ප්‍රථම මිනිසා බවට පත් වීම පමණි.
කෙසේ වෙතත්, සියල්ල සතුටුදායක අන්දමින් සිදු වුව හොත් තමාගේ අනාගතය පිළිබඳ සිතන්නටත් ඇය බලාපොරොත්තුවෙන් සිටී. 2030 වර්ෂයේ ඇය සැලසුම් කරන පරිදිම අඟහරු බලා පෘථිවියෙන් පිටත්ව ගිය හොත්, සියල්ල සතුටුදායක අන්දමින් සිදු වන වටපිටාවක ඇයට 2032 වර්ෂයේදී නැවත පෘථිවිය බලා පැමිණීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඇය ඒ වන විට 31 වියැතිව සිටින අතර, ඇයගේ අදහස වන්නේ තමාට ඉන් පසුව අනාගතය ගොඩනඟාගැනීමට ඕනෑ තරම් කල් ඇති බවයි. එසේම සිය ජීවිත කාලය තුළ අඟහරු ජනාවාස බිහි වුව හොත් එහි පදිංචියට යන්නටද තමා බලාපොරොත්තු වන බව ඇය විදෙස් මාධ්‍යයට සඳහන් කර තිබිණි. ඒ අනුව ඇයගේ අරමුණ වන්නේ අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට ජීවත් විය හැකිද යන්න පරීක්ෂා කිරීම සහ අනාගත පරපුරට නව ජීවයක් ආරම්භ කිරීමට මාර්ගයක් නිර්මාණය කර දීමය.
බොහෝ විද්‍යාඥයන් පවසන ආකාරයට, අඟහරු කරා යන පළමු කණ්ඩායමට නැවත පෘථිවියට පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අවමය. එනම් මේ ගමන ‘නැවත නොඑන ගමනක්’ වීමට පුළුවනි. ඇලීසා මේ බව දැන දැනම ඒ අභියෝගය භාරගෙන හමාරය. ඇය තමන්ගේ තාරුණ්‍යය, පවුල, විවාහය සහ පෘථිවියේ පවතින සුවපහසු ජීවිතය මේ හීනය වෙනුවෙන් කැප කිරීමට සූදානම්ව සිටී. ඇය අනාගත පරපුරට පාර කියන මහා පහන් ටැඹකි.
අවසාන වශයෙන් ඇලිසාගේ කතාව අපට කියා සිටින්නේ කැපකිරීම්වලින් තොරව මහා ජයග්‍රහණ අත් කරගත නොහැකි බවයි. පෘථිවියේ නිල් අහස, ගහකොළ සහ ආදරණීයයන්ගේ උණුසුම අත්හැර, පාළු රතු කාන්තාරයක හුදෙකලා වීමට ඇය ගත් තීරණය මවිතකර වූවකි. ඇය ආපසු නොඑන ගමනක් යයි. එහෙත් ඇය දල්වන ඒ ආලෝකය තවත් දහස් ගණන් අනාගත ගවේෂකයන්ට මඟ පෙන්වනු ඇත.
අවසාන වශයෙන්, ඇලීසා කාර්සන් අඟහරු වෙත යන්නේ තනි පුද්ගලයකු ලෙස නොව, මුළු මහත් පෘථිවිවාසීන්ගේම බලාපොරොත්තු කරපින්නා ගෙනය. ඇයගේ ගමන සාර්ථක වුව හොත් මතු දිනක මිනිසා යනු එක් ග්‍රහලෝකයකට පමණක් සීමා වූ ජීවියකු නොවනු ඇත.
සිළුමිණ- සංචලා කුලසේකර