රාජාංගණේ පියදස්සි හිමි
වෙනස් වන ලෝකයට ගැළපෙන පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පැනනැඟී ඇති බව අප කවුරුත් පිළිගන්නා සත්‍යයකි. එහෙත් එය කෙසේ කළ යුතුද යන්න විවාදාපන්න කරුණකි. එහෙයින් මේ පිළිබඳ පැනනැඟී ඇති සමාජ මතවාද ඔස්සේ කතා කිරීම අධ්‍යාපන ප්‍රතිශංස්කරණ සඳහා සමාජයේ අවධානය යොමු කිරීමටද හේතු වේ. මන්ද යත්: ඕනෑම අධ්‍යාපන ප්රතිසංස්කරණයක් අදාළ වන්නේ එය ක්‍රියාත්මක කෙරෙන සමාජයට වන හෙයිනි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ එය නූතනයට ගැළපෙන අයුරින් සිදු වෙනවාද? යන්නට වඩා, ඉදිරි අනාගතයේ මතු විය හැකි තත්ත්ව හා අභියෝග ජය ගැනීම උදෙසා හෙට ලෝකයට ගැළපෙන අයුරින් සමාජයට දායාද කළ හැකිද යන්නයි. ඊට හේතුව නම්: අධ්‍යාපනය හෙට ලෝකයට අද කෙරෙන ආයෝජනයක් වීමයි.

අප ජීවත් වන 21 වැනි සියවස පූර්ව ශතවර්ෂවලට වඩා ශීඝ්‍රයෙන් වෙනසට පත් වෙමින් ඇත. අතීතයේ නව නිපැයුම් බිහි වූයේ ඉතා සෙමෙනි. ගුවන්විදුලිය, රූපවාහිනිය, දුරකතනය බිහි වීමට දශක ගණනක් ගත විය. එසේම ඒවා සමාජයට භාරගැනීමට හා ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීමටද බොහෝ කාලයක් ගෙවාදැමීමට සිදු විය. තමන්ට පුරුදු වූ පැරණි ක්‍රමවේද, මෙවලම්, ඇඳුම් ආයිත්තම්, සිරිත් විරිත් ආදිය මිනිසා වෙනස් කරගත්තේ ඉතා සෙමෙනි. එහෙත් 21 වැනි සියවසේ මේ වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදු වූ අතරම, සමාජය ඒවා භාරගැනීමට බොහෝ කලක් වැය කළේද නැත.
ස්මාර්ට් ජංගම දුරකතනය ලෝකය වෙනස් කළ මෙවලමකි. එය ලෝකය පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූ අතර, ඒ හරහා තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ නව මං මාවත් ගණනාවක් විවර විය. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලය, ෆේස්බුක්, යූටියුබ්, ට්විටර් ආදි සමාජ මාධ්‍ය භාවිතයට එක් වූ අතර, එය සමාජයේ තොරතුරු සන්නිවේදන කාර්යයෙහි විශාල ඉඩක් හිමි කරගති. ලෝකයේ විවිධ තැන්වල සිදු වන දෑ නිමේෂයකින් තම ඩිජිටල් තිරය මත සජීව ලෙස මැවෙන අතරම ඒ සඳහා තමන්ට ප්‍රතිචාර දැක්වීමටත් ඒ හා සම්බන්ධ වීමටත් ඉඩක් ලැබීම මානවයා පුදුමයට පත් කළේය. එසේම ඇඟිලි තුඩක් තැබීමෙන් තමන්ට අවැසි බොහෝ අවශ්‍යතා ඉටු කරගැනීමට හැකි වීම මෙම තාක්ෂණික ලෝකයේ නිම්වළලු පුළුල් කිරීමක් විය.
2025 වර්ෂයෙන් පසු බිහි වන දරුවන් බීටා පරපුරට අයත් යැයිද, ඉන් පෙර පැවති ඇල්ෆා පරපුර අප පහු කළ බවද ඒ එක් එක් පරපුරෙහි ලක්ෂණ විශ්ලේෂණය කරන මානව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේවාට අයත් ළමා පරපුර උපතින්ම තාක්ෂණික හැකියා සහිත විභවතාවලින් යුතුව සමාජගත වේ. මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ පාසල තුළ අධ්‍යාපනය හදාරන සිසු පරපුරට නව ලොව ග්‍රහණය කරගැනීමට අවශ්‍ය වන කුසලතා ඇති කරලීමට සකස් කෙරෙන අධ්‍යාපනයක් කෙබඳු විය යුතුද? යන්න තීරණය කිරීම විශාල අභියෝගයක් වනු නියතය. කුමන අධ්‍යාපන ක්‍රමයක් වුව සමාජගත කිරීමේදී අප රටේ සංස්කෘතික හරයන්, ආගමික විශ්වාස, සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවේද, දරිද්‍රතාව, ග්‍රාමීය හා නාගරික බෙදීම, යටිතල පහසුකම්වල හිඟය, අසමානතාව, වාර්ගිකත්වය, සමාජ විෂමතාව වැනි සමාජයේ අවියෝජනීය බැඳීමක් ඇති කාරණා දැඩි ලෙස සැලකීමට සිදු වනු ඇත.

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් වන්නේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලැබිය යුතුද යන්නයි. ළමා අපයෝජනය, නව යොවුන් වියේ ගැබ් ගැනීම, ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය වැනි සිදුවීම් මහජන අවධානයට ලක් වන සෑම අවස්ථාවකම ලිංගික අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාව බොහෝ විට මතු වේ. වේගයෙන් වෙනස් වන ලෝකයක දරුවන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ගෞරවය සුරැකීම සඳහා ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍ය බවට බොහෝ දෙනා තර්ක කරති. කෙසේ වෙතත් මේ මතයට ප්රතිපක්ෂ වූවන් අනිසි බියකින් යුතුව තර්ක කරනුයේ දරුවන්ට එවැනි අධ්‍යාපනයක් දීමෙන් සංස්කෘතික වටිනාකම් යටපත් කිරීමටත්, දුරාචාර හැසිරීම් දිරිමත් කිරීමටත්, දරුවන් මානසිකව සූදානම් නැති දැනුමකට නිරාවරණය කිරීමටත් හේතු විය හැකි බවයි. එහෙත් මේ විවාදය යොමු විය යුත්තේ ඉහත කී කරුණු කෙරෙහි පමණක්ම නොවේ. එහිදී අධ්‍යාපනයේ සැබෑ අරමුණ කුමක් ද? අධ්‍යාපනය හුදෙක් ශාස්ත්‍රීය දැනුම සම්ප්‍රේෂණය කිරීම පමණක්ද? නැත හොත් දරුවන් තමන් හා අන් අයවත්, ජීවිතයේ යථාර්ථයන් වග කිව යුතු සහ සදාචාරාත්මක ආකාරයකින් තේරුම් ගැනීමට සූදානම් කිරීමද? යන්නයි.
මතු දැක්වෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ශ්‍රී ලාංකික දරුවන්ට ලිංගික අධ්‍යාපනය දිය යුතුද යන්න පිළිබඳ සමාජ මතවාද ඔස්සේ පුළුල් ලෙස අදහස් දැක්වීමකි. එයට වත්මන් පාසල් සමාජයේ ගුරු-දෙගුරු පාර්ශ්වයේ හා ශිෂ්‍යන්ගේ පක්ෂ විපක්ෂ අදහස් මෙන්ම සංස්කෘතික වශයෙන් මුල් බැසගත් දෘෂ්ටිකෝණ ද සලකා බලා ඇත. මෙය දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුද? යන්න සහ එසේ නම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම්වලට අනුකූලව එය කළ හැකිද? යන්න පිළිබඳ විවරණයකි.
සැබවින්ම පළමුව ‘ලිංගික අධ්‍යාපනය’ යන්නෙහි අර්ථය තේරුම් ගත යුතුය. මේ මාතෘකාව කතා කිරීමේදී ප්‍රධාන ගැටලුවක් වන්නේ වරදවා වටහාගැනීමයි. බොහෝ මවුපියන් සඳහා ‘ලිංගික අධ්‍යාපනය’ යන යෙදුම දරුවන් අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෙරෙන අන්තර්ගතයන් හෝ උපදෙස්වල රූප සිහියට නංවයි.

එහෙත් එය සපුරාම වැරදිය. ලිංගික අධ්‍යාපනය හා ලිංගික ක්‍රියාකාරකම්වල ඇත්තේ හාත්පස වෙනස් ස්වභාව දෙකකි. මේ අර්ථ නිරූපණය සාවද්‍ය සහ නොමඟ යවනසුලු බව ගුරුවරුන් අවධාරණය කරයි. නූතන සෞඛ්‍ය බලධාරීහුද වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනයක් දීමට එකඟ වේ. ලෝකයේ විවිධ රටවල අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය විස්තීර්ණ ලෙස විග්රහ කෙරේ. ඉන් අදහස් කරන්නේ දරුවන්ට ලිංගික ක්‍රියාකාරකම්වල නියැළෙන ආකාරය ඉගැන්වීම නොව, ඒ වෙනුවට
• මිනිස් සිරුර සහ එහි වර්ධනය පිළිබඳ දැනුම
• වැඩිවිය පැමිණීමේදී ශාරීරික හා චිත්තවේගීය වෙනස්කම් තේරුම් ගැනීම
• පුද්ගලික සීමාවන් සහ කැමැත්ත ගැන ඉගෙනීම
• ගෞරවනීය සබඳතා සහ අන්‍යෝන්‍ය වගකීම
• මූලික ප්‍රජනක සෞඛ්‍ය දැනුම
• අපයෝජනය සූරාකෑම සහ උපකාර පැතිය යුතු ආකාරය පිළිබඳ දැනුවත්භාවය
ආදිය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කරගැනීමයි. මුල් ළමා වියේදී මේ අධ්‍යාපනය ආරක්ෂාව, ශරීරය ගැන දැනුවත්භාවය සහ ගෞරවය කෙරෙහි අවධානය යොමු විය යුතුය. වඩාත් සවිස්තරාත්මක ලෙස ජීව විද්‍යාත්මකව සහ සෞඛ්‍ය ආශ්රිත අන්තර්ගතයන් හඳුන්වා දිය යුතු වන්නේ දරුවන් සංවර්ධනය වන විට හා පසුකාලීන වයස් සිමාවලදීය. එබැවින් වැරදි වැටහීම් මත සිටිමින් ලිංගික අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම මඟින් අර්ථවත් සංවාදයක් ඇති වීම හා ඵලදායි ප්‍රතිපත්ති සකස් වීම වළක්වන බව බොහෝ විදුහල්පතිවරුන්ගේද මතයයි.
ශ්‍රී ලංකාවේ ඉහළ සාක්ෂරතා අනුපාතය සහ නිදහස් අධ්‍යාපනය සඳහා දිගුකාලීන කැප වීම බොහෝ රටවල පැසසුමට ලක්ව තිබේ. එහෙත් මෙවැනි ජයග්‍රහණ තිබියදීත් දරුවන්ගේ ලිංගික දැනුමේ සහ ලිංගික ආරක්ෂාවේ ඇති හිඩැස් කෙරෙහි අවධානය යොමු නොකිරීම කෙරෙහි විවේචන තිබේ. ඔවුන් දක්වන්නේ පහත සඳහන් ගැටලු වැඩි වෙමින් පවතින බවයි:
• ළමා ලිංගික අපයෝජනය
• නව යොවුන් වියේ ගැබ්ගැනීම් සහ අනාරක්ෂිත ගබ්සා කිරීම්
• නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
• සමාජ මාධ්‍ය සහ මාර්ගගත අන්තර්ගතයන් හරහා පැතිර යන වැරදි තොරතුරු
යම් සිදුවීම් පිළිබඳ කතා නොකර සිටීම හෝ විවිධ තහනම් කිරීම් හෝ පාලනය කිරීම් මඟින් ලිංගික තොරතුරුවලට නිරාවරණය වීමෙන් දරුවන් ආරක්ෂා නොවන බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඒ වෙනුවට දරුවන් බොහෝ විට සම වයසේ මිතුරන් මඟින් කාමුක දර්ශන හෝ සමාජ මාධ්‍ය වැනි විශ්වාස කළ නොහැකි මූලාශ්‍රවලින් තොරතුරු ලබාගනී. එහි ඇති භයානක ස්වරූපය නම් ඒවායේ අන්තර්ගතය නිතරම විකෘති, අස්වාභාවික, ප්‍රෝඩාකාරි වීම නිසා අවිධිමත් ආකාරයට දැනුම ලැබීමය. එය ලිංගික දැනුමකට වඩා ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරවීමකි. එවැනි දේ මුදල් ඉපයීමේ අරමුණෙන් වෙබ් අඩවි හරහා සිදු වේ. මේ ප්රවේශයන්ට නතු වීම තුළ ළමයින් වයසට නොගැළපෙන අයුරින් අවිධිමත් ලිංගික අධ්‍යාපනයක් ලැබීම හේතුවෙන් වඩාත් අවදානමට ලක් විය හැකිය.
ලිංගික අධ්‍යාපනය අනිවාර්ය ලෙස දිය යුතුය යන අදහසේ සිටින සමාජ කණ්ඩායම් ඒ සඳහා හේතු කාරණා කිහිපයක් දක්වයි. අපයෝජනයෙන් සහ සූරාකෑමෙන් දරුවන් ආරක්ෂා කිරීමට ලිංගික අධ්‍යාපනය තීරණාත්මක මෙවලමක් බව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රබලම තර්කවලින් එකකි. බොහෝ අපයෝජනයට ලක් වූ දරුවන් තම අත්දැකීම් වාර්තා නොකරන්නේ තමන්ට සිදු වන දේ වැරදි බව ඔවුන්ට නොතේරෙන නිසා හෝ දොස් පැවරීමට සහ ලජ්ජාවට පත් වීමට ඇති බිය නිසාය. එනිසා වයසට ගැළපෙන අධ්‍යාපනය දරුවන්ට උපකාරි විය හැකිය. එහිදී,
• නුසුදුසු ස්පර්ශයන් හඳුනාගැනීම
• පෞද්ගලික සීමා තේරුම් ගැනීම
• ඔවුන්ට යොමු විය හැකි විශ්වාසවන්ත වැඩිහිටියන් හඳුනාගැනීම
• කතා කිරීමට විශ්වාසය වර්ධනය කිරීම
ආදිය මඟින් ශාරීරික ස්වාධීනත්වය සහ කැමැත්ත පිළිබඳ දැනුවත් වන දරුවන් අපයෝජනයක් ගැන කලින් වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇති බවත්, එමඟින් දිගුකාලීන මානසික හානිය අඩු කරන බවත් ඔවුහු පෙන්වා දෙති. ලිංගික අධ්‍යාපනය මඟින් ශාරීරික හා මානසික සෞඛ්‍යයට සහය වීමත්, ළමා අපචාර සහ ලිංගික හිංසනයෙන් ආරක්ෂා වීමත් සිදු වේ. නිවැරදි ලිංගික සෞඛ්‍ය තොරතුරු නැතිකම නිසා නව යොවුන් වියේ ගැබ්ගැනීම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත රෝග) සහ ප්‍රජනක සෞඛ්‍ය ගැටලු ඇති වේ. ලිංගික අධ්‍යාපනය අවදානම් හැසිරීම් අඩු කරන අතර, කාලයත් සමඟ සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මඟපාදයි. ව්‍යූහගත අධ්‍යාපනයක් නැති විට දරුවන් බොහෝ විට අන්තර්ජාල මූලාශ්‍රය, සම වයසේ මිතුරන් හෝ වැරදි තොරතුරු මත විශ්වාසය තබන අතර, එමඟින් ඔවුන් තුළ ශරීර සබඳතා සහ ලිංගිකත්වය පිළිබඳ හානිකර වැරදි වැටහීම් ඇති විය හැකිය. මනෝවිද්‍යාත්මක සහ චිත්තවේගීය සංවර්ධනය පුළුල් අධ්‍යාපනය මඟින් ඇති කළ හැකිය. විශ්වාසය, ගෞරවය සහ ශරීර දැනුවත්භාවය සඳහාද එය දායක වේ.
ළමා ආරක්ෂක අධිකාරියට (NCPA) අනුව ලිංගික අධ්‍යාපනය යනු හුදෙක් ලිංගික එක් වීම ගැන ඉගැන්වීමක් නොව, ‘යහපත් ස්පර්ශය සහ අයහපත් ස්පර්ශය’ (Good touch & Bad touch) හඳුනාගැනීමයි. දරුවකුට තමාට සිදු වන හිංසනය හඳුනාගැනීමට සහ ඊට එරෙහි වීමට දැනුම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දිනකට වාර්තා වන ළමා අපචාර සිද්ධි ගණන ඉහළ යෑම සහ ඉන් බහුතරයක් ළඟම ඥාතීන් හෝ හිතවතුන්ගෙන් සිදු වීම වසරකට පාසල් යන වයසේ දරුවන් දහස් ගණනක් ගැබ් ගැනීම්වලට ලක් වේ. මෙය නව යොවුන් ගැබ් ගැනීම් සහ සමාජ ගැටලුය. මින් බොහොමයක් සිදු වන්නේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ අනවබෝධය නිසාය.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මතයන් අනුව ශරීරයේ හෝමෝන වෙනස්කම් සහ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වය ගැන විද්‍යාත්මක අවබෝධයක් දරුවන්ට තිබිය යුතුය.
HIV/ AIDS වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STDs) පාලනය හා ඒවා තරුණ ප්‍රජාව අතර ව්‍යාප්ත වීමේ අවදානම අඩු කරගැනීමට ආරක්ෂිත ක්‍රමවේද ගැන දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ ඇතැම් ආගමික නායකයන් සහ සංස්කෘතික ක්‍රියාකාරීන් පවසන්නේ පාසල් විෂය නිර්දේශයට ලිංගික කරුණු ඇතුළත් කිරීම මඟින් දරුවන්ගේ ළමා ගුණය නැති වී යන බවයි. එය ලිංගික අධ්‍යාපනය දීමට යෑමේදී මතු වන ප්‍රබල සංස්කෘතික හා ආගමික බලපෑමකි. බොහෝ ආගමික නායකයෝ ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වන අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සදාචාරාත්මක පදනම් අඩපණ කරන බවට තර්ක කරති. එවැනි විෂයමාලාවක් මඟින් විදේශීය වටිනාකම්, පවුල් සැලසුම් හෝ විකල්ප ජීවන රටා ප්‍රවර්ධනය කරන බවට ප්‍රකාශ කර ඇති අතර, එය සාම්ප්‍රදායික සම්මතවලට පටහැණි බව සලකති. ලිංගික තොරතුරුවලට නිරාවරණයට ඇති බිය, උපත් පාලන ක්‍රම හෝ ලිංගික භාවිතයන් වැනි මාතෘකාවලට මුල් අවධියේදී නිරාවරණය වීම නොමේරූ ලිංගික ක්‍රියාකාරකම් දිරිමත් විය හැකි බවට ඔවුහු තර්ක කරති.
ලිංගික අධ්‍යාපනය මඟින් දරුවන් අකාලයේ ලිංගික ක්‍රියාකාරකම්වලට පොලඹවයි යන බිය ඇතැම් මවුපියන් තුළද පවතී. මීට පෙර 7 ශ්‍රේණිය විෂය නිර්දේශයට ඇතුළත් කළ ප්‍රජනක සෞඛ්‍ය පාඩම් කොටස් සමාජ විරෝධය නිසා ඉවත් කිරීමට සිදු විය. විරුද්ධ වන්නන් පවසන්නේ මෙය බටහිර සංකල්ප බලෙන් ඇතුළු කිරීමක් බවයි. ‘හතේ අපේ පොත’ වැනි ප්‍රජනක සෞඛ්‍ය පාඩම් හඳුන්වා දීමට ගත් අතීත උත්සාහයන් ආගමික හා සංස්කෘතික කණ්ඩායම්වල දැඩි ප්රහාරයන්ට මුහුණ දුන් අතර, එනිසාම එම යෝජනා හකුළා ගැනීමට සිදු විය.
තවදුරටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්නේ නම් පහත පරිදි එය දීමට යෝජනා කළ හැකිය. මෑතකාලීන යෝජනා මඟින් වයසට ගැළපෙන ලිංගික සෞඛ්‍ය තොරතුරු පාසල් විෂයමාලාවට ඇතුළත් කිරීමට යෝජනා කරන අතර 6 ශ්‍රේණියේ සිටම ක්‍රියාත්මක කිරීම සඳහා මොඩියුල සකස් කළ හැකිය. එසේ නම් එය ඵලදායි හා සංවේදි ලෙස කළ යුත්තේ කෙසේද? ලිංගික අධ්‍යාපනය විෂයමාලාව පදනම් කරගත් ක්‍රියාවලියක් වන අතර, එය ලිංගිකත්වයේ සහ සබඳතාවල ජීව විද්‍යාත්මක, චිත්තවේගීය හා සමාජීය අයිතිවාසිකම් මත පදනම් වූ කරුණු ඉගැන්වීමකි. සෞඛ්‍යසම්පන්න සබඳතා ස්ත්‍රී-පුරුෂ භාවය, ප්‍රජනනය සහ අපයෝජනයෙන් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂා වීම වැනි කරුණු අවධාරණය කරයි. බොහෝ විට පන්ති කාමරයේදී ගුරුවරු ලිංගික පාඩම් ඉගැන්වීම මඟහැරීමට හෝ ලජ්ජාවක් සේ සැලකීමට පෙලඹෙති. එබැවින් ගුරුවරුන්ට මේ පිළිබඳ විවෘතව හා විද්‍යාත්මකව ඉගැන්වීම හා මනෝවිද්‍යාත්මක පුහුණුවක් දීම අනිවාර්යය. සමාජ ප්‍රතිරෝධය අවම කිරීමට ‘ලිංගික අධ්‍යාපනය’ වෙනුවට ‘ප්‍රජනක සෞඛ්‍ය හා ජීවන කුසලතා’ වැනි නම් භාවිත කළ හැකිය. මෙය ජීව විද්‍යාව සහ සෞඛ්‍ය විද්‍යාව හරහා දරුවාට සමීප කළ යුතුය. කෙසේ වුවත්, යට කී තොරතුරු අනුව ලිංගික අධ්‍යාපනය මේ සියවස අභියෝග ජය ගැනීමේදී ළමයින්ට අත්‍යවශ්‍ය දැනුමක් බව පැහැදිලිය.