පෙර පාසල් ප්‍රමිතිගතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ආකෘති පත්‍ර කට්ටල ලබා දීමේ ” ප්‍රදක්ෂිණා ” වැඩසටහන අද බස්නාහිර පළාත් සභාවේදී පැවැත්විණි. ඒ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙනි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර හනීෆ් යූසූෆ් මහතාගේ සංකල්පයක් ලෙස බස්නාහිර පළාත් සහාව,පළාත් අධ්‍යාපන අමාත්‍යංශය,අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පෙර පාසල් ඒකකය එක්ව ” ප්‍රදක්ෂිණා” වැඩසටහන ආරම්භ කරනු ලැබීය.
පූර්ව ළමාවිය සංවර්ධනය සහ පෙරපාසැල් ගුරුවරියන්ගේ වැදගත්කම පිළිබඳව අගමැතිනිය එහිදී අදහස් දැක්වූ අතර පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමටත් එය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්‍රමානුකූලව පවත්වා ගැනීමට හා ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බවත් පෙරපාසැල් ගුරුවරියන්ගේ වාර්තීය තත්ත්වය නැංවීම වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසීය.
‘පූර්ව ළමා විය සංවර්ධනය, රටේ මානව සංවර්ධනයටත්, රටේ අනාගත අභිවෘද්ධියටත් ප්‍රධාන ලෙස බලපානවා. දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ පූර්ව ළමාවිය සංවර්ධනය මත බව අප සියලු දෙනාට පිළිගත හැකි සත්‍යයක්. දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය බොහෝ දේ වයස අවුරුදු පහ දක්වා කාලය තුළදී දරුවා තුළ සිදුවෙනවා. ඒ කාලය තුළ දරුවා ලබන අත්දැකීම්, රැකවරණය, ලබන ආදරය තීරණාත්මකයි. දරුවා වැඩිහිටියෙකු ලෙස ගොඩනැගීමට කුඩා කාලයේ ලබන සමාජානුයෝජන බලපෑම, අන්තර් සම්බන්ධතා, පරිසරයේ බලපෑම පාදක වෙනවා. පුද්ගලයෙකු වැඩිහිටියෙකු වූ පසු වෙනස් කිරීමට නොහැකි තරමට පූර්ව ළමාවිය සංවර්ධනය ජීවිතයට බලපානවා, දරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව වැඩිහිටියන් දක්වන ප්‍රතිචාර ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය ඔවුන්ට දක්වන රැකවරණය සියල්ල ඉතාම වැදගත්. එබැවින් දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය දෙමව්පියන්ගේ වගකීමක් පමණක් ලෙස අපි කිසිවිටක සළකන්නේ නැහැ. එය සියලු පුරවැසියන්ගේ සාමූහික වගකීමක්.’ යැයි ඇය පැවැසීය.










බස්නාහිර පළාත නියෝජනය කරන පෙර පාසැල් ගුරුවරියන් පන්සියයකට වැඩි පිරිසක් මීට එක්ව සිටි අතර ලක්ෂ්මන් නිපුණආරච්චි, සමන්මලී ගුණසිංහ,කෞෂල්‍යා ආරියරත්න යන මහජන නියෝජිතයින්ද, රජයේ නිළධාරීන්ද ඊට එක්ව සිටියහ.
මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් විසින් අග්‍රාමාත්‍යවරියට අපූරු සිහිවටනයක්ද පිළිගනුවනු ලැබීය.
