මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ගොවීන් ලියාපදිංචි කිරීමට farmer net lk තොරතුරු පද්ධතිය හඳුන්වා දී දින දහයක් ගතවීමටත් මත්තෙන් ගොවීන් දසදහසකට අධික සංඛ්‍යාවක් මෙම පද්ධතිය හරහා ලියාපදිංචි වී ඇති බැව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ගොවි ජනතාව නවීන තාක්ෂණ දැනුමින් සන්නද්ධ කිරීමේ අරමුණින් farmer net lk පද්ධතිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබුණි. මෙකී පද්ධතිය හරහා ලියපදිංචි වීමෙන් ගොවීන්ට රජයේ ගොවි සහන වැඩසටහන් සඳහා සුදුසුකම් ලැබීම, බීජ පොහොර හා අනිකුත් සහන ලබා ගැනීම, කෘෂි තාක්ෂණික උපදෙස් හා සේවා පහසුකම් පිළිබඳ තොරතුරු දැනගැනීමට සහ වෙළෙඳපොළ තොරතුරු ලබා ගත හැකි වීම, කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විකුණුම් සහාය ලබාගත හැකි වීම වැනි පහසුකම් ලැබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
ගොවි මහත්වරුන්ට තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයක් මගින් farmer net lk පද්ධතිය වෙත පිවිස ලියාපදිංචි විය හැකිය. නැතහොත් තම ජංගම දුරකථනය හා ජාතික හැඳුනුම්පත රැගෙන ළඟම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණ ලියාපදිංචි විය හැකි බවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ මෙම තොරතුරු පද්ධතිය හඳුන්වා දී තිබුණි.