කිරුළ කාට ද?

w6zcges6dorepjxznndj

ක්‍රිකට් ලෝක කුස­ලා­න­යක උණු­සුම යළිත් ලොව පුරා පැති­රෙන්නට පටන් ගෙනය. මෙවර පැවැ­ත්වෙන්නේ 10 වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යයි. ඉන්දි­යාව සමඟ ශ්‍රී ලංකා­වේද සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන බැවින් දෙස් විදෙස් ක්‍රීඩ­ක­යන්ගේ දස්කම් සියැ­සින් දැක-බලා­ගැ­නීමේ කදිම අව­ස්ථා­වක් ශ්‍රී ලාංකික ක්‍රීඩා­ලෝ­ලීන්ට උදා වී තිබේ.

මෙවර තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිල තරග වදින්නේ ‘බී’ කාණ්ඩ­යෙනි. ඉන්දි­යාව ඇතු­ළත් වන්නේ ‘ඒ’ කාණ්ඩ­ය­ටය. කණ්ඩා­යම් 20ක් කාණ්ඩ 4ක් යටතේ මාස­යක් පුරා කුස­ලා­නය හඹා යෑමේ සට­නට එක් වී සිටින අතර, මූලික වටය, සුපිරි අට වටය සහ අව­සන් පූර්ව වට­යෙන් පසුව විස්සයි20 අලුත්ම ශුර­යන් කවු­රු­න්දැයි තීන්දු කරන අව­සන් මහා තර­ගය මාර්තු 8 දා ඉන්දි­යාවේ අහ­ම­දා­බාද් නුව­රදී පැවැ­ත්වෙයි. එහෙත් අව­සන් මහා තර­ග­යට පාකි­ස්තා­නය සුදු­සු­කම් ලබන්නේ නම් එම තර­ගය ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වී­මට සැල­සුම් කර ඇත්තේ ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය අතර ඇති දේශ­පා­ලන විර­ස­කය හේතු­වෙනි.

මෙවර ලෝක ශූර­යන්ට හිමි වන ත්‍යාග මුදල අ.ඩො. මිලි­යන 3ක් වන අතර, එය ශ්‍රී ලංකා මුද­ලින් රු. කෝටි 93කට ආසන්න මුද­ලකි. අනු­ශූ­ර­යන්ට අ.ඩො. මිලි­යන 1.6ක් (රු. කෝටි 50කට ආසන්න මුද­ලක්) පිරි­නැ­මෙන අතර, අව­සන් පූර්ව වට­යට එක්වන කණ්ඩා­ය­ම්ව­ලට අ.ඩො. 7,90,000ක් ද (රු. කෝටි 25ක් පමණ) පස්වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා පිවි­සෙන කණ්ඩා­ය­ම්ව­ලට අ.ඩො. 3,80,000ක් ද (රු. කෝටි 12කට ආසන්න මුද­ලක්) පිරි­නැමේ. තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­ත්වය වෙනු­වෙන්ද අ.ඩො. 2,50,000 බැගින් (රු. කෝටි 8ක් පමණ) මුදල් ත්‍යාග පිරි­නැ­මී­මට කට­යුතු යොදා තිබේ.

කුස­ලාන ඉති­හා­සයේ පිති­ක­රු­වන් අතර මෙතෙක් වැඩිම ලකු­ණු­ලා­භි­යාගේ වාර්තාව රැක­ගැ­නී­මට ඉන්දි­යාවේ විරාට් කෝලි සමත් වී ඇත්තේ තරග 35කදී ලකුණු 1,292ක් රැස් කර­මිනි. ඊට ඇතු­ළත් අර්ධ ශතක ගණන 15කි. ශ්‍රී ලංකාව වෙනු­වෙන් මහේල ජය­ව­ර්ධන තරග 31කදී ලකුණු 1,016ක් රැස් කළ අතර, ඊට ශත­ක­යක් සහ අර්ධ ශතක 6ක් ඇතු­ළත්ය. බංග්ලා­දේ­ශයේ ශකීබ් අල් හසන් ඉති­හා­සයේ වැඩිම කඩු­ලු­ලා­භියා වන අතර, ඔහු තරග 43කදී දවා­ගත් කඩුලු සංඛ්‍යාව 50කි. ශ්‍රී ලංකාව වෙනු­වෙන් ලසිත් මාලිංග තරග 31කදී කඩුලු 38ක් දවා­ගත් අතර, තරග 19කදී කඩුලු 37ක් ලබා සිටින වනිඳු හස­රං­ගට විස්සයි20 ලෝක කුස­ලා­නයේ වැඩිම කඩුලු ලැබූ ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වීමට අවශ්‍ය වී ඇත්තේ තවත් කඩුලු 2ක් පමණි.

2007

398300.6

දකුණු අප්‍රි­කාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවති මංගල විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ශූර­තාව දිනා­ගැ­නී­මට මහේන්ද්‍ර සිං දෝනිගේ නාය­ක­ත්ව­යෙන් යුතු ඉන්දීය පිල සමත් විය. අව­සන් මහා තර­ග­යේදී ඔවුන් අතින් ලකුණු 5ක සියුම් පරා­ජ­යක් උරුම කර­ගත්තේ ඉන්දි­යාවේ සම්ප්‍ර­දා­යික පස­මි­තු­රන් වන පාකි­ස්තා­න­යයි. ඉන්දීය පිලේ ඉර්ෆාන් පතාන් තර­ගයේ වීරයා ලෙසත්, පාකි­ස්තාන පිලේ ශහීඩ් අෆ්රිඩි තර­ගා­ව­ලියේ වීරයා ලෙසත් සම්මාන දිනා­ගත්හ. මහේල ජය­ව­ර්ධ­නගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදුණු ශ්‍රී ලංකා­වට සුපිරි අට වට­යේදී තර­ගා­ව­ලි­යෙන් ඉවත් වීමට සිදු විය.

2009

381399

එංග­ල­න්තයේ සත්කා­ර­ක­ත්වය යටතේ පැවති දෙවැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ශූර­තාව දිනා­ගැ­නී­මට සමත් වූයේ යූනිස් ඛාන්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු පාකි­ස්තාන පිලය. අප­රා­ජි­තව අව­සන් මහා තර­ග­යට පිවිසි කුමාර් සංග­ක්කා­රගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා පිලට කඩුලු 8ක පරා­ජ­යක් අත් කර­ගෙන, අනු­ශූ­ර­තා­වෙන් සෑහී­මට පත් වීමට සිදු විය. ශහීඩ් අෆ්රිඩි තර­ගයේ වීරයා සම්මා­නය හිමි කර­ගත් අතර, තර­ගා­ව­ලියේ වීරයා සම්මා­නය අත් කර ගැනී­මට තිල­ක­රත්න ඩිල්ෂාන් සමත් විය.

2010

telemmglpict000230307106 trans nvbqzqnjv4bqigd1fp7dh ibmj01imzv7es7djv ztr2aeuv10dgoqm

බට­හිර ඉන්දීය කොදෙව් දූප­ත්වල සත්කා­ර­ක­ත්ව­යෙන් පැවති තුන්වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා­ගැ­නී­මට පෝල් කොලිං­වුඩ්ගේ නාය­ක­ත්වය යටතේ එංග­ලන්ත පිල සමත් විය. අනු­ශූ­ර­තා­වට හිමි­කම් කීවේ එංග­ල­න්තය හමුවේ කඩුලු 7කින් පරා­ජ­යට පත් වූ ඔස්ට්‍රේ­ලි­යානු පිලය. එංග­ලන්ත පිලේ කීස් වෙටර් තර­ගයේ වීර­යා සම්මා­නය දිනා­ගත් අතර, කෙවින් පීට­ර්සන් තර­ගා­ව­ලියේ වීරයා බවට පත් විය. කුමාර් සංග­ක්කා­රගේ නාය­ක­ත්ව­යෙන් තර­ගා­ව­ලි­යට එක් වූ ශ්‍රී ලංකා පිල අව­සන් පූර්ව වටය දක්වා පැමි­ණී­මට සමත් වූ අතර, ඔස්ට්‍රේ­ලි­යාව හමුවේ කඩුලු 7කින් පරා­ජ­යට පත් වීමෙන් අව­සන් තර­ගය අහිමි විය.

2012

gettyimages 153617058 1024x1024
COLOMBO, SRI LANKA – OCTOBER 07: West Indies team with the trophy after winning the ICC World Twenty20 2012 Final between Sri Lanka and the West Indies at R. Premadasa Stadium on October 7, 2012 in Colombo, Sri Lanka. (Photo by Gareth Copley/Getty Images)

ශ්‍රී ලංකාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවති සිව්වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා­ගනු ලැබුවේ ඩැරන් සැමිගේ නාය­ක­ත්ව­යෙන් යුතු බට­හිර ඉන්දීය කොදෙව් පිලය. මහේල ජය­ව­ර්ධ­නගේ නාය­ක­ත්ව­යෙන් තර­ගා­ව­ලි­යට එක්වූ ශ්‍රී ලංකා පිල අව­සන් තර­ග­යට පිවි­සී­මට සමත් වූ අතර, කොදෙ­ව්වන් හමුවේ පරා­ජ­යට පත් වූයේ ලකුණු 36කිනි. කොදෙව් පිලේ මාලන් සැමු­වෙල්ස් තර­ගයේ වීරයා සම්මා­නය දිනා­ග­නිද්දී ඔස්ට්‍රේ­ලි­යානු පිලේ ශේන් වොට්සන් තර­ගා­ව­ලියේ විරයා බවට පත් විය.

2014

o3vw5p7h44r41

බංග්ලා­දේ­ශයේ සත්කා­ර­ත්වය යටතේ පැවැති පස්වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශුර­යන් බවට පත් වීමට ලසිත් මාලිං­ගගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා පිල සමත් විය. අව­සන් මහා තර­ග­යේදී ශ්‍රී ලංකා පිල හමුවේ කඩුලු 6ක පරා­ජ­යක් අත්වි­ඳ­ගත් ඉන්දීය පිලට අනු­ශු­ර­තාව හිමි විය. තර­ගයේ වීරයා සම්මා­නය දිනා­ගනු ලැබුවේ කුමාර් සංග­ක්කාර විසිනි. විරාට් කෝලි තර­ගා­ව­ලියේ වීරයා සම්මා­න­යෙන් පිදුම් ලැබීය.

2016

icc world twenty20 india 2016: final england v west indies

ඉන්දි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවති 6 වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා­ගැ­නී­මට සමත් වූයේ ඩැරන් සැමිගේ නාය­ක­ත්ව­යෙන් යුතු බට­හිර ඉන්දීය කොදෙව් පිලය. අව­සන් මහා තර­ග­යේදී ඔවුන් අතින් එංග­ලන්ත පිල කඩුලු 6කින් පරා­ජ­යට පත් විය. මාලන් සැමු­වෙල්ස් තර­ගයේ වීරයා සම්මා­න­යත්, විරාට් කෝලි තර­ගා­ව­ලියේ වීරයා සම්මා­න­යත් දිනා­ගත්හ. ලීග් ක්‍රමය යටතේ පළ­මු­ව­රට පැවති මෙවර තර­ගා­ව­ලි­යට දිනේෂ් චන්දි­මාල්ගේ නාය­ක­ත්ව­යෙන් එක් වූ ශ්‍රී ලංකා පිලට අව­සන් පූර්ව වට­යට පිවි­සී­මට අව­ස්ථා­වක් නොලැ­බිණි.

2021

australia t20 world cup 2021

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමා­නයේ සත්කා­ර­ක­ත්වය යටතේ පැවති 7 වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා­ගැ­නී­මට ආරොන් ෆින්ච්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු ඔස්ට්‍රේ­ලි­යානු පිල සමත් විය. අව­සන් මහා තර­ග­යේදී ඔස්ට්‍රේ­ලි­යාව හමුවේ කඩුලු 8කින් පරා­ජ­යට පත් වූයේ නව­සී­ලන්ත පිලය. ඔස්ට්‍රේ­ලි­යානු පිලේ මිචෙල් මාෂ් තර­ගයේ වීරයා සම්මා­නය දිනා­ගත් අතර, ඩේවිඩ් වෝනර් තර­ගා­ව­ලියේ වීරයා ලෙස සම්මා­නය ලැබීය. දසුන් ශාන­කගේ නාය­ක­ත්ව­යෙන් තර­ගා­ව­ලි­යට එක් වූ ශ්‍රී ලංකා පිලට සුපිරි වට­යෙන් ඉවත් වීමට සිදු විය.

2022

000 32nf3mt

ඔස්ට්‍රේ­ලි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවති 8 වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශුර­තාව දිනා­ගැ­නී­මට සමත් වූයේ ජොස් බට්ලර්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු එංග­ලන්ත පිලය. අව­සන් මහා තර­ග­යේදී ඔවුන් වෙතින් පාකි­ස්තාන පිල කඩුලු 5කින් පරා­ජ­යට පත් විය. එංග­ලන්ත පිලේ සෑම් කරන් තර­ගයේ වීරයා සම්මා­න­යත්, තර­ගා­ව­ලියේ වීරයා සම්මා­න­යත් දෙකම දිනා­ග­ත්තේය. දසුන් ශාන­කගේ නාය­ක­ත්ව­යෙන් තර­ගා­ව­ලි­යට එක් වූ ශ්‍රී ලංකා පිලට සුපිරි වට­යෙන් සෑහි­ම­කට පත් වීමට සිදු විය.

2024

384057.6

බට­හිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙ­රි­කාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවති 9 වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ශූර­තාව දිනා­ගනු ලැබුවේ රෝහිත් ෂර්මාගේ නාය­ක­ත්ව­යෙන් යුතු ඉන්දීය පිල ය. අව­සන් මහා තර­ග­යේදී දකුණු අප්‍රි­කානු පිල ලකුණු 7කින් පරා­ජ­යට පත් කිරී­මට ඉන්දීය පිල සමත් විය. විරාට් කෝලි තර­ගයේ වීරයා සම්මා­නය දිනා­ග­නිද්දී තර­ගා­ව­ලියේ වීරයා සම්මා­නය හිමි වූයේ ජස්ප්‍රිට් බුම්රා­ටය. මූලික වට­යේදී එක් තර­ග­යක් පම­ණක් ජය ගත් වනිඳු හස­රං­ගගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා පිලට සුපිරි වටය අහිමි විය.

ශ්‍රී ලංකාවේ
මූලික වටයේ තරග

පෙබ. 8 – අය­ර්ල­න්තය – ආර්.ප්‍රේම­දාස
පෙබ. 12 – ඕමා­නය – පල්ලෙ­කැලේ
පෙබ. 16 – ඔස්ට්‍රේ­ලි­යාව – පල්ලෙ­කැලේ
පෙබ. 19 – සිම්බාබ්වේ – ආර්. ප්‍රේම­දාස

ශ්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, පවන් රත්නායක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, එශාන් මාලිංග සහ මතීෂ පතිරණ.

සිළුමිණ ඇසුරෙනි