දවසේ වෙඩිල්ල ජනාධිපති ගාවටම ඇවිත්- නාමල්

namal rajapaksha 1

දවසේ වෙඩිල්ල නැවැත්තුවා කියා කිව්වත් පැලවත්තේ ජනාධිපතිවරයා සිටින ස්ථානය කිට්ටුවට පැමිණ නීතිඥවරයෙකු බිරිය සමග මහ දවාලේ ඝාතනය කළේ නම් රටේත් පුරවැසියාගේත් ආරක්ෂාව බරපතළ ප්‍රශ්නයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ, මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

මන්ත්‍රිවරයා වැඩිදුරට ත් මෙසේ ද පැවසීය.

“පහුගිය කාලේ අපි දැක්කා මෙවැනිම සිදුවීමක්. අධිකරණය ඇතුළේ ඝාතනයක් සිද්ධ වුණා. ඒ වගේ ම තමයි පහුගිය දිනෙක නීතිඥවරයෙකුට පහර දුන්නා උසාවිය ගාව. පොලිසියයි නීතිඥවරු අතරත් ප්‍රශ්නෙකුත් ඇති වුණා. අපි දැක්කා සෞඛ්‍ය ඇමැතිවරයා තර්ජනාත්මක ස්වරූපයෙන් වෛද්‍යවරුන්ට කියනවා ඔබ ඔබේ අයිතීන් පිළිබඳ කතා කරලා, අයිතීන් පිළිබඳව සටන් කෙරුවොතින් ජනතාව ඔබ ගැන තීන්දු ගනී. ආණ්ඩුව නොකියා කියන්නේ නීතිඥවරු මර්දනය කරන්න උත්සාහ කරනවා වගේ වෛද්‍යවරුවත් මර්දනය කරනවා කියන කාරණය.

එක පැත්තකින් ආණ්ඩුව ජනතාව උසිගන්වලා මේ ජනතාව ලව්වා මේ රටේ වෘත්තිකයන්ට පහර දෙන න්‍යායක් ක්‍රියාත්මක වන බවක් පේනවා. දැන් අපි දැක්කනේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රිතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව ලැබුණාම ආණ්ඩුව සමහරු ඒ නඩු තීන්දුව විවේචනය කළා විතරක් නෙමෙයි.”