CID නිලධාරියා නාටාෂාට ‘සොරි’ කියයි

natasha edirisooriya

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ. සුබසිංහ අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇයට ලිඛිතවම කනගාටුව පළකළේය.

​එසේම මෙම පනත යටතේ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුවීම වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත චක්‍රලේඛයකින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

​එම චක්‍රලේඛය සති දෙකක් තුළ නිකුත්කරන බවත්, පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය එම මාර්ගෝපදේශ පරීක්ෂා කර බලා ඊට එකඟත්වය පළකළ බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දුන්නේය.

​තමන් නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව අද විනිසුරු පී. පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස කනගාටුව පළකිරීමත්, පොලිස් චක්‍රලේඛය නිකුත් කිරීම පිළිබඳ දැනුම්දීමත් සිදුවිය.

​ඒ අනුව අදාළ පොලිස්පති චක්‍රලේඛය නිකුත් කර සති දෙකක් ඇතුළත මෝසමක් මඟින් අධිකරණයට දැනුම්දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය, නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කළේය.

නතාෂා එදිරිසූරිය අද විවෘත අධිකරණය ඉදිරියේ පෙනීසිටි අතර, නඩු කටයුතු මෙලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු පී. පද්මන් සූරසේන ඇය අමතමින් සඳහන් කළේ අධිකරණය එය අගය කරන බවයි.

​ලිඛිතව ඉදිරිපත් කළ කනගාටුව පළකිරීමේ ලිපියේ මෙසේ සඳහන් විය:

​“අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස, සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදු වූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.”

පෙත්සම්කාර නතාශා එදිරිසූරිය ඉදිරිපත් කළ කොන්දේසි අනුව මෙම කණගාටුව පළකිරීම සහ චක්‍රලේඛ යොමුකිරීම සිදුවිය.

(උපුටාගැනීම – whatnews.lk)