වැටුප් සහ කිසිම දීමනාවක් නොගන්නා එකම මන්ත්‍රී මෙන්න

page 74 1200x550

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ වන විට රුපියල් 54,285ක මූලික වැටුපක් හිමි වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (19) අනාවරණය කළාය.

මීට අමතරව රුපියල් 3,500ක රියැදුරු දීමනාවක්, රුපියල් 100,000 කාර්යාල දීමනාවක්, රුපියල් 15,000ක ප්‍රවාහන දීමනාවක් සහ පාර්ලිමේන්තු රැස්වීම් හෝ කාරක සභා රැස්වීම්වලට සහභාගී වීම සඳහා දිනකට රුපියල් 2,500 බැගින් දීමනාවක් මන්ත්‍රීවරයකුට හිමිව වන බව ඇය පැවසුවාය.

ඒ හැරුණු කොට සංග්‍රහ දීමනා ලෙස රුපියල් 1000ක්, දුරකතන දීමනාවක් ලෙස රුපියල් 1000ක්, පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනයකදී කාරක සභා රැස්වීම්වලට සහභාගී වන්නේ නම් රුපියල් 2500ක්, වශයෙන් ද මන්ත්‍රීවරයකුට දීමනා හිමි වේ.

එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය පදනම් කරගනිමින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කරගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙ‍ළෙඳපොළේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවනු ලැබේ.

2025 අගෝස්තු මස සිට මන්ත්‍රී වැටුප් හා දීමනා ලබා නොගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක මහතා ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව ඔහුට ගෙවීම් නතර කර ඇති බව ද අගමැතිවරිය පැවසුවාය.

අගමැති ලෙස තමාත්, කථානායකවරයා සහ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ඉන්ධන දීමනාව ලබා නොගන්නා බව ද ඇය කීවාය. මේ අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් සමගි ජන බලවේගයේ නයන වාසලතිලක මන්ත්‍රීවරයා හැර අනෙක් 224 දෙනාම වැටුප් හා දීමනා ලබාගන්නා බව ද ඇය ප්‍රකාශ කළාය.

මන්ත්‍රී වැටුප් හා අනෙකුත් දීමනා දිගු කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ගලා යෑම රටට රහසක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගයේ වැටුප් හා දීමනා ද පක්ෂ අරමුදලට බැර කරනවා. ඒ තුළ කිසිදු අලුත් කාරණාවක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගයේ බැංකු ගිණුම් විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් රටට පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට ස්තුතිය පිරිනමනවා. ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙක් තමන්ගේ වැටුප් හා දීමනා පෞද්ගලික ගිණුම්වලට ගත්තේ නැහැ. එය පක්ෂ අරමුදලට යන බව අලුත් දෙයක් නොවෙයි.

“මම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහු රටට පෙන්වා දුන්නා, ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික ජන බලවේගයත් ගිණුම් විනිවිදභාවයකින් පවත්වාගෙන ගිය බවට. ඒක රටට පෙන්වා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මම ඉල්ලා සිටිනවා, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ පක්ෂවල අයත් තමන්ගේ ගිණුම් විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස. එතකොට අපට සංසන්දනය කරලා බලන්න පුළුවන් පක්ෂ අරමුදල් එකතු වෙන්නේ කොහොමද? ඒ මුදල් වියදම් වෙන්නේ කොහොමද? කියලා.”

එය රටේම ජනතාව දන්නවා. කෙසේ වුව ද අනෙකුත් දේශපාලන පක්ෂ විසින් ද සිය පක්ෂ ගිණුම් විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යෑම අතිශය වැදගත්” බව ද අගමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් හෙළි කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.