අමාත්‍යාංශ දොළහක් ලොකු වැඩ 38ක

317aefae sri lanka government logo

තම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සහනාධාර හෝ ප්‍රතිලාභ හෝ අපේක්ෂා කරන ජනතාව වෙනුවෙන් අමාත්‍යාංශ 12ක් මඟින් විවිධ සුභසාධන වැඩසටහන් 38ක් ක්‍රියාත්මක කරමින් සිටී.

අන්ත දුප්පත්, දුප්පත්, සංක්‍රාන්තික, අවධානය යොමු විය යුතු කාණ්ඩ ලෙස දැනටමත් වර්ගීකරණ 4ක් ඔස්සේ ප්‍රතිලාභීන් ලක්ෂ 18කට ආසන්න පිරිසකට ‘අස්වැසුම’ දීමනාව හිමි වේ. ඊට අමතරව වකුගඩු රෝගි, ආබාධිත, තැලසීමියා, විශේෂ අවශ්‍යතා ඇති යනාදි මෙන්ම වැඩිහිටි, තරුණ, ළමා පිරිස් වෙතද විවිධ සුභසාධන ප්‍රතිලාභ රජයෙන් පිරිනැමේ.

මේ ආකාරයට රටේ සමාජ ආරක්ෂණය සඳහා අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කළ රජය වත්මන් රජය බවද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, වාර්ෂිකව විශාල මුදලක් මහජනතාවගේ සුභසාධනය හා සමාජ ආරක්ෂණය සඳහා විවිධාකාරයෙන් වියදම් කළද, රටේ මේ වන විට සමාජ ආරක්ෂණය ලැබිය යුතු පුද්ගලයන් පිළිබඳ එක් තැනක විධිමත් තොරතුරු පද්ධතියක් නැති බවද අනාවරණය වේ. මේ නිසා සමාජ ආරක්ෂණය ලැබිය යුත්තන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් සමාජ සුභසාධක මණ්ඩලය මඟින් ආරම්භ කර ඇත.

එය ආරම්භ වූයේ වසර 2023දී ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මඟින් බවත්, එදවස දුන් තොරතුරු මේ වන විට වෙනස් විය හැකි නිසා නැවත තොරතුරු යාවත්කාලීන කළ යුතු බවත් සමාජ සුභසාධක මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර පැවසීය.

සමාජ ආරක්ෂණය ලැබිය යුතු පිරිස් පිළිබඳව නිවැරදි හා විධිමත් තොරතුරු පද්ධතියක් නැතිකම නිසා ඇතැම් විට එකම අයෙකුට ආයතන ගණනාවකින් වැඩසටහන් කිහිපයකින් ප්‍රතිලාභ ලැබීමට හෝ ඇතැමෙකුට කිසිවක් නොලැබී යෑමට හෝ ඉඩ ඇතැයි ද සභාපතිවරයා පැහැදිලි කළේය. ඒ නිසා මේ ආකාරයට සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කළ ද රටේ සැබෑ සමාජ සුභසාධනයන්ගේ ප්‍රතිලාභ ලැබිය යුතු ප්‍රතිලාභීන් කවුරුන්දැයි හඳුනාගැනීම වටිනා දෙයක් බවත්, ඒ සඳහා තම තොරතුරු මණ්ඩලය වෙත දීම මහජනතාවගේ යුතුකම බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සමාජ සුභසාධනය සඳහා වූ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු විවිධ පාර්ශ්ව අරමුදල් සැපයීමට ඉදිරිපත් වී සිටී. ඒ කණ්ඩායම් නියෝජිතයන් නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ මෙවැනි සුභසාධන වැඩපිළිවෙළවලට අදාළ ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනාගත යුතු බවයි.