අධිකරණ නියෝග මත විනාශ කරනු ලබන මත්ද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ වාර්තා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් සියලු මහාධිකරණ විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.
‘විනාශ කරන අන්තරායදායක ඖෂධ සම්බන්ධ වාර්ෂික වාර්තා ලබාගැනීම’ යන ශීර්ෂය යටතේ මීට අදාළ ලිපියක් සියලු මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන් වෙත යවා තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නියෝග මත මේ දැනුම් දීම කර ඇති අතර, ඒ වාර්තාව සකස් කළ යුතු ආකාරය පිළිබඳ ආකෘතියක්ද ඒ ලිපියේ දක්වා ඇත. එම ආකෘතියට අනුව අදාළ නඩු අංකය, විනාශ කරන ලද මත්ද්‍රව්‍ය වර්ගය සහ විනාශ කරන ලද ප්‍රමාණය නිශ්චිතව දැක්විය යුතුය.
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත යටතට ගැනෙන සියලු දේ මේ වාර්තාවට ඇතුළත් කළ යුතු බවත්, සෑම වර්ෂයක් අවසානයේදීම, දෙසැම්බර් 31 හෝ ඊට පෙර මේ වාර්තාව යොමු කළ යුතු බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.